Xiaomi ශ්‍රී ලංකාවේ දෙවැනි විශාලතම ස්මාට්ෆෝන් සන්නාමය වෙයි

ගෝලීය තාක්ෂණික පෙරගමන්කරුවෙකු වෙන Xiaomi සන්නාමය ශ්‍රී ලංකාවේ ස්මාට් දුරකතන වෙළෙඳ පොළ තුළ දෙවැනි විශාලතම ස්මාට් දුරකතන සන්නාමය බවට පත්ව ඇතැයි පසුගියදා නිවේදනය කෙරිණි. ලොව මුල් පෙළේ වෙළෙඳ පොළ පර්යේෂණ ආයතනයක් වන IDC හි 2020 තෙවැනි කාර්තුව සඳහා නිකුත් කෙරුණු Worldwide Quarterly Mobile Phone Tracker සමීක්ෂණ වාර්තාව තුළ මේ පිළිබඳව සඳහන්ව තිබෙන බව එම සමාගම පවසයි.

Xiaomi සන්නාමය මෙරට තුළ සිය මෙහෙයුම් ඇරඹූ 2018 වසරෙන් පසුව මෙම ස්ථානයට පත් වූ පළමු අවස්ථාව බවත් සඳහන් වෙයි. ඉතාමත් සාර්ථක ලෙස සිය සන්නාමය යටතේ Mi සහ Redmi යන ස්මාට් දුරකතන මාදිලි රැසක්ම ශ්‍රී ලාංකික වෙළෙඳ පොළ වෙත නිකුත් කිරීමට හැකිවීමත් සමගින්ම මෙලෙස ශ්‍රී ලංකාවේ ස්මාට්ෆෝන් කාණ්ඩය යටතේ දෙවැනි ස්ථානය දිනා ගැනීමට Xiaomi සන්නාමයට හැකියාව ලැබී තිබේ.

මෙහිදී අද වනවිට Xiaomi සන්නාමය යටතේ අලෙවි වන ඒකක සංඛ්‍යාවට අනුව වෙළෙඳ පොළෙන් 16.86%ක ප්‍රතිශතයකට හිමිකම් කියයි. එය පෙර කාර්තුවේදී සන්නාමය සතුව තිබූ අලෙවිය හා සැසඳීමේදී තුන්ගුණයක ඉහළ යාමක් බවද සමාගම පවසා සිටියි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන Xiaomi Sri Lanka හි කළමනාකාර අධ්‍යක්ෂ විද්‍යා සාගර් මහතා, “පළමු වතාවට ශ්‍රී ලංකාවේ ස්මාට් දුරකතන වෙළෙඳ පොළේ දෙවැනි ස්ථානයට පත්වීම Xiaomi ශ්‍රී ලංකා ලෙස අපට ඉතාමත් ප්‍රීතිමත් අවස්ථාවක්. සෑම දෙනාටම නවෝත්පාදනය රැගෙන යාමේ අපේ මෙහෙයුම යටතේ, ඉදිරියටත් අපි අපේ Mi පාරිභෝගිකයන් වෙත තවත් සේවය සැලසීමට කටයුතු යොදනවා. විශේෂයෙන්ම සුවිශේෂී විශේෂාංග, ඉහළම ගුණාත්මක බව සහ සාධාරණ මිල ගණන් යටතේ සිය සන්නාමය පාරිභෝගිකයන්ගේ ආදරයට පාත්‍ර වී තිබෙනවා.” යනුවෙන් පවසා සිටියි.

Xiaomi සන්නාමය  පවසන ආකාරයට ප්‍රධානවම නත්තල් සහ නව අවුරුදු සමයන් ඇතුළු උත්සව සමයන්හිදී සිය අලෙවිය කැපී පෙනෙන ලෙස ඉහළ යාමක් සිදු වන බව සඳහන් වෙයි. මේ අතරම අද වනවිට Xiaomi අන්තර්ජාල අලෙවි හවුල්කරුවෙකු වන Daraz.com සමගින්ද එකතු වී රටෙහි සෑම ස්ථානයක් වෙතම සිය සන්නාමය දැවැන්ත ලෙස පුළුල් කිරීම සඳහා දායකත්වය ලබා ගෙන තිබේ. එසේම අද වනවිට ශ්‍රී ලංකාව පුරාම විහිදුනු ශක්තිමත් බෙදාහැරීමේ ජාලයක්ද සමාගම සතුව ඇතැයි Xiaomi Sri Lanka සමාගම වැඩිදුරටත් පවසා සිටියි.

Visits: 115