ලාභදායී රාජ්‍ය ව්‍යවසායන් CSE හි ලැයිස්තුගත කරන ලෙස ජෝන් කීල්ස් සභාපති ඉල්ලයි

රජයට අයත් ව්‍යවසායන් කොළඹ කොටස් හුවමාරුව තුළ ලැයිස්තුගත කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතුව ඇතැයි එම හුවමාරුවේ ලැයිස්තුගත මෙරට ප්‍රමුඛ පෙළේ සමාගමක් වන ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගමේ සභාපති ක්‍රිෂාන් බාලේන්ද්‍ර මහතා පවසයි.

ඩේලි එෆ්ටී පුවත්පත සහ කොළඹවිශ්වවිද්‍යාලයේ MBA ආදි ශිෂ්‍ය සංගමය එක්ව පසුගිය සිකුරාදා සංවිධානය කෙරුණු ‘Budget 2021’ සංවාදයේදී අදහස් දක්වමින් ඒ මහතා මේ කරුණු දක්වා තිබේ.

ඒ අනුව රජය සතු සෑම ව්‍යවසායක්ම නොව, ඒ අතරින් 10%ත් 20%ත් අතර ප්‍රමාණයක් හෝ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත කිරීම වැදගත් බව හෙතෙම සඳහන් කරයි. විශේෂයෙන්ම කොළඹ කොටස් හුවමාරුව සඳහා වන ආකර්ෂණය වැඩි කිරීමට එය හේතුවක් වෙනු ඇති බවත් ඔහු අවධාරණය කර තිබේ.

“ප්‍රාග්ධන වෙළෙඳ පොළ සංවර්ධනය සඳහා පෙළඹවීම වැදගත්. අද වන විට කොළඹ කොටස් හුවමාරුව තුළ පවතින ප්‍රධානතම ගැටලු වන්නේ ද්‍රවශීලතාවය සහ එය කුඩාවීමයි. ඒත් වඩා වැඩි සමාගම් ප්‍රමාණයක් මේ වෙත ලැයිස්තුගතවීමට උනන්දු කරවීම මෙම අභියෝග විසඳීමට උදව්වක් වේවි. මම බලාපොරොත්තු වෙනවා වඩා වැඩි සමාගම් සංඛ්‍යාවක් කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත වේවි කියලා. එතැනදී රජයට අයත් රාජ්‍ය ව්‍යවසායන් වෙතත් කොටස් හුවමාරුවට පැමිණෙන ලෙස මම පවසනවා. රජය සෑම ව්‍යවසායක්ම නොවුණත් 10%ක් 20%ත් අතර ප්‍රමාණයක් ඊට සෑහේවි.” බාලේන්ද්‍රන් මහතා සඳහන් කර තිබේ.

ඒ අනුව රජය මෙවර ඉදිරිපත් කළ අයවැය යෝජනා වෙත සහාය දැක්වීමක් සඳහා කරන දායකත්වයක් ලෙස අඩුම තරමින් එක් ලාභදායී රාජ්‍ය ව්‍යවසායක් හෝ කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත කිරීමට ඉල්ලා සිටින බවත් හෙතෙම පවසා ඇත.

මේ අතර මෙවර ඉදිරිපත් කළ ව්‍යාපාර මිත්‍රශීලී අයවැය සම්බන්ධයෙන් තමන් රජය වෙත සිය සුභපැතුම් එක් කරන බවත් ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී සභාපතිවරයා වැඩිදුරටත් අවධාරණය කර තිබේ.

Visits: 456