ශ්‍රී ලංකා මෝටර් රථ අමතර කොටස් නිෂ්පාදකයින්ගේ සංගමය 2021 අයවැය අගයයි

“දේශීයව නිපදවූ හා එකලස් කළ රථවාහන කොටස් සැපයීමට ලොව ප්‍රකට මෝටර් රථවාහන සමාගම් හතක් සමග SLACMA සාකච්ඡා කරනවා” – සභාපති දිමන්ත ජයවර්ධන

පසුගියදා රජය විසින් ඉදිරිපත් කරන ලද අයවැය 2021 යෝජනා පිළිගන්නා බව ශ්‍රී ලංකා මෝටර් රථ අමතර කොටස් නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි. ඒ අනුව මෙය ‘දේශීය මෝටර් රථ අමතර කොටස් නිෂ්පාදකයින්ට නව යුගයක්’ යනුවෙන්ද ඔවුන් සඳහන් කරයි.

මෙහිදී රජය විසින් ඉදිරිපත් කර ඇති යෝජනා යටතේ මෝටර් රථ කර්මාන්තයේ දේශීයව නිපදවන ලද නැවුම් මෝටර් රථ අමතර කොටස් නිපදවන ව්‍යවසායකයින් දිරිගැන්වීම අගේ කරමින් ශ්‍රී ලංකා මෝටර් රථ අමතර කොටස් නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති දිමන්ත ජයවර්ධන මහතා නිවේදනයක් නිකුත් කරයි.

ඒ අනුව 2021 අය වැයෙන් පහත සඳහන් ප්‍රතිපත්ති ක්‍රියාත්මක වන බව ඔහු පවසයි,

– දේශීයව නිෂ්පාදනය කළ නැවුම් අමතර කොටස් 30%ක් සහිතව දේශීය මෝටර් රථ එකලස් කිරීම.

– රජයේ ටෙන්ඩර්පත් කැඳවීමේදී දේශීය මෝටර් රථ අමතර කොටස් සඳහා වැඩි මනාපයක් දැක්වීමෙන් ඒවා ප්‍රවර්ධනය කිරීම (ස්වදේශීය මනාපය).

– ආනයනකරුවන් විසින් ඉන්වොයිසියන්හි ව්‍යාජ මිල ගණන් සඳහන් කිරීම වැලැක්වීමෙන් දේශීය මෝටර් රථ නිෂ්පාදකයින්ට ඇති වන අසාධාරණ තරඟකාරිත්වය ඉවත් කිරීම.

එසේම වර්ධනය වැඩි කිරීම සඳහා තම කලාපීය සමකාලීනයන්ගෙන් තත්ත්ව සහතික ලබාගන්නා තුරු තීරණාත්මක පියවරක් ලෙස ශ්‍රී ලංකා මෝටර් රථ අමතර කොටස් නිෂ්පාදකයින්ගේ සංගමය දස වසරක ප්‍රධාන සැලැස්මක් මුදල් අමාත්‍යංශය වෙත ඉදිරිපත් කොට ඇතැයිද එම සංගමය පවසයි.

මෙම ප්‍රතිපත්තිය ඉදිරියට ගෙන යාම සඳහා ගරු අග්‍රාමාත්‍යතුමා ප්‍රමුඛ මුදල් අමාත්‍යාංශයෙන්ද, විමල් වීරවංශ ඇමතිතුමා යටතේ ඇති කර්මාන්ත හා සැපයුම් අමාත්‍යාංශයෙන්ද, දිලුම් අමුණුගම රාජ්‍ය ඇමතිතුමා යටතේ ඇති රථවාහන නියාමනය, මගී ප්‍රවාහන සේවා, දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සහ අපනයන සංවර්ධන මණ්ඩලය හා ආයෝජන මණ්ඩලය යන ආයතනයන්ගෙන්ද ලැබුණු සක්‍රීය දායකත්වය එම සංගමය කෘතඥපූර්වකව සිහි කරයි.

දේශීයව නිෂ්පාදනය කරන ලද හා එකලස් කරන ලද මෝටර් රථවාහන කොටස් සැපයීම සඳහා ශ්‍රී ලංකා මෝටර් රථ අමතර කොටස් නිෂ්පාදකයින්ගේ සංගමය දැනට ලොව ප්‍රකට මෝටර් රථවාහන සමාගම් හතක් සමග සාකච්ඡා පවත්වා ගෙන යයි. ඉදිරි මාසවල රැකියා ගණනාවක් නිර්මාණය කිරීමට හැකිවනු බවටද ජයවර්ධන මහතා විශ්වාසය පළ කර සිටියි.

Visits: 196