හිමිකම් නිකුතුවෙන් පසු ඉන්ඩස්ට්‍රියල් ඇස්ෆල්ට්ස් (සිලෝන්) හි වැඩිම කොටස්හිමිකරුවාගේ කොටස් ප්‍රතිශතය පහළ බැහැලා

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත මෙරට ප්‍රධාන පෙළේ බිටුමින් ආශ්‍රිත නිෂ්පාදන සිදුකරන සමාගමක් වන ඉන්ඩස්ට්‍රියල් ඇස්ෆල්ට්ස් (සිලෝන්) පීඑල්සී විසින් පසුගිය සැප්තැම්බර් මාසයේදී සිදුකරන ලද හිමිකම් කොටස් නිකුතුවෙන් පසුව එහි ප්‍රධානතම කොටස් හිමිකරුවාගේ කොටස් ප්‍රතිශතය පහළ බැස ඇතැයි වාර්තා වෙයි.

සමාගමේ දත්ත අනුව ඉන්ඩස්ට්‍රියල් ඇස්ෆල්ට්ස් (සිලෝන්) පීඑල්සීහි වැඩිම කොටස් හිමිකරුවා වන්නේ ගෝවින්දස්වාමි රාමනාන් මහතාය. සැප්තැම්බර් මාසයේදී සිදුකළ මෙම හිමිකම් කොටස් නිකුතුවේදී ඔහු කොටස් මිලදී ගැනීමට කටයුතු නොකිරීම මෙම තත්ත්වයට හේතුව වී ඇතැයි මේ පිළිබඳව වාර්තාවක් ගෙන එන ඩේලිමිරර් පුවත්පත අද පවසයි.

ඒ අනුව පසුගිය මැයි මාසයේදී සමාගම තුළ ඔහුගේ කොටස් ප්‍රතිශතය 66.89%ක් ලෙස පැවතී ඇති අතර, සැප්තැම්බර් මාසයේදී එය 53.51%ක් දක්වා පහළ බැස ඇත. එහෙත් ඔහු සතු සමාගමේ කොටස් ප්‍රමාණය වන කොටස් බිලියන 2 එලෙසින්ම පවතී.

සැප්තැම්බර් මාසයේ දෙවැනිදා සිදු කෙරුණු මෙම හිමිකම් කොටස් නිකුතුවේදී කොටස් මිලියන 749.8ක් නිකුත් කිරීම සිදු විය. එහිදී දැනට කොටස් හිමිකරුවන් සතුව පවතින සෑම කොටස් 13කටම අලුතින් කොටස් 12ක් හිමිවන ලෙස මෙම නිකුතුව සිදුව තිබේ. එහිදී එක් කොටසක් රුපියල් ශත 20 බැගින් මිල කෙරී තිබුණි. මෙම හිමිකම් කොටස් නිකුතුවේ සම්පූර්ණ ඉල්ලුමක්  හරහා රුපියල් මිලියන 150ක මුදලක් රැස් කරගැනීම අරමුණ විය.

මේ අතර සිදු කෙරුණු මෙම හිමිකම් නිකුතුවෙන් අනතුරුව ඉන්ඩස්ට්‍රියල් ඇස්ෆල්ට්ස් (සිලෝන්) පීඑල්සී සමාගමේ පප්‍රකාශිත ප්‍රාග්ධනය සැප්තැම්බර් මාසයෙන් අවසන් වන කාර්තුවේදී රුපියල් මිලියන 156.6ක් දක්වා ඉහළ ගොස් ඇත. එය පසුගිය වසරේ එම කාර්තුවේදී සමාගම සතු වූ ප්‍රකාශිත ප්‍රාග්ධනය වූ රුපියල් මිලියන 6.6ට සාපේක්ෂව 2,250%ක වර්ධනයකි.

මෙම හිමිකම් නිකුතුවේ අනුපාතය අනුව සමාගම් අධ්‍යක්ෂවරුන් වන කනගරත්නම් නවීන්කාන්ත්, නන්ද කුමාර දහනායක සහ දුලීප් දලුවත්ත යන මහත්වරුන් වෙත පිළිවෙලින් කොටස් මිලියන 126.4ක්, මිලියන 0.7ක් සහ මිලියන 0.5ක් හිමිව තිබේ.

මෙම නිකුතුවෙන් අනතුරුව නවීන්කාන්තන් සිය කොටස් මිලියන 148ක් කොටසක් ශත 30 බැගින් අලෙවි කර තිබේ. එහෙත් පසුගිය සැප්තැම්බර් මාසය වනවිට ඔහු සතුව පැවැතී ඇත්තේ සමාගමේ කොටස් 13,500 ක් පමණක් බවත් සමාගම පවසයි.

මේ අතර කොළඹ කොටස් හුවමාරුවේ කැපී පෙනෙන ආයෝජකයෙකු වන ටී. සෙන්තිවර්ල් මහතාද ප සුගිය සැප්තැම්බර් මාසයෙන් අවසන්වන විට සමාගම තුළ තමන් සතු කොටස් ප්‍රතිශතය 9.81%ක් බවට පත් කරගෙන තිබූ අතර, පසුගිය වසරේ එම කාර්තුවේදී ඔහු සතු වූ සමාගමේ කොටස් ප්‍රතිශතය 6.55%ක් විය.

ඉන්ඩස්ට්‍රියල් ඇස්ෆල්ට්ස් (සිලෝන්) පීඑල්සී සමාගමට අනුව මෙම හිමිකම් නිකුතුව හරහා සම්පාදනය කරගන්නා මුදලින් රුපියල් මිලියන 50ක් සිය කෙටි කාලීන ණය සහ බැංකු අයිරා සමතයකට පත් කිරීම සඳහා වැය කිරීමට නියමිතය. එසේම ඉතිරි රුපියල් මිලියන 100 සිය කාරක ප්‍රාග්ධන අවශ්‍යතාවන් වෙත වැය කරන බවත් සමාගම පවසයි.

පසුගිය සැප්තැම්බර් මාසය අවසන් වනවිට ඉන්ඩස්ට්‍රියල් ඇස්ෆල්ට්ස් (සිලෝන්) පීඑල්සී සමාගම සතුව වූ ණයෙහි වටිනාකම රුපියල් මිලියන 32ක් වූ බවත්, බැංකු අයිරාවන්හි වටිනාකම රුපියල් මිලියන 76.3ක් වූ බවත් සමාගම වැඩිදුරටත් සඳහන් වෙයි.

Visits: 774