HNB සමූහය 2020 මුල් මාස 9 සඳහා රුපියල් බිලියන 8.8ක බදු පසු ලාභයක් වාර්තා කරයි

හැටන් නැෂනල් බැංකුව (HNB) 2020 මුල් මාස 9 සඳහා රුපියල් බිලියන 7.7ක බදු පසු ලාභයක් (PAT) වාර්තා කර ඇති අතර එම කාල පරිච්ෙඡ්දය සඳහා HNB සමූහය රුපියල් බිලියන 8.8ක බදු පසු ලාභයක් වාර්තා කිරීමට සමත් වී ඇතැයි පවසයි.

2020 මුල් මාස 9 සඳහා ලබා ගත් මූල්‍ය කාර්යසාධනය පිළිබඳ අදහස් දක්වන HNB හි සභාපති දිනේශ් වීරක්කොඩි මහතා ‘‘කොවිඞ්-19 වසංගතයේ පළමු රැල්ල ශ්‍රී ලංකාව ප‍්‍රශංසනීය ලෙස පාලනය කරනු ලැබුවා. කෙසේවෙතත් ගෝලීය වශයෙන් වසංගතය ක‍්‍රමයෙන් වර්ධනය වීමේ තත්වයක් තුළ වර්තමානයේදී අප ජාතියක් වශයෙන් නැවත වතාවක් තීරණාත්මක මොහොතකට පැමිණ සිටිනවා. වසංගතය විසින් ඇති කරන ලද සැලකිය යුතු අභියෝග හමුවේ වුවද HNB තම මූල්‍ය ශක්තිය ස්ථාවර බව හා ඔරොත්තු දීමේ හැකියාව අඛණ්ඩව පෙන්නුම් කළා. මෑතකදී මූඩිස් ඉන්වෙස්ටර්ස් සර්විස් ආයතනය විසින් පෙර නොවූ විරූ ලෙස ශ්‍රී ලංකාවේ ස්වෛරීත්ව ශ්‍රේණිගත කිරීම ස්ථාන දෙකකින් පහළ දැමීම නිසා රට පසුබෑමකට ලක් වුනා. මේ පසුබිම තුළ මෙරට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට සහාය වීම සඳහා ප‍්‍රංශ සංවර්ධන මූල්‍ය ආයතනයක් වන PROPARCO සමඟ ඇමරිකානු ඩොලර් මිලියන 60ක දිගු කාලීන ණය ගිවිසුමකට එළැඹීමට HNB හට හැකි වූ බව මම සතුටින් සඳහන් කරන්න කැමතියි.’’ යනුවෙන් පැවසුවේය.

HNB සභාපති දිනේෂ් වීරක්කොඩි සහ HNB හි කළමනාකාර අධ්‍යක්ෂ/ප‍්‍රධාන විධායක නිලධාරී ජොනතන් අලස්

මේ වසර ආරම්භයේදීම මූල්‍ය තත්වය සඳහා ලිහිල් ප‍්‍රතිපත්තියක් අනුගමනය කිරීම හේතුවෙන් පදනම් ලක්ෂ 400කින් බරිත සාමාන්‍ය ප‍්‍රමුඛ ණය අනුපාතිකය (AWPLR) පහළ දමන ලදී. 2019 අදාල කාල පරිච්ෙඡ්දයට සාපේක්ෂව පොලී අනුපාත 8.7%කින් අඩු වී බැංකුවේ පොලී ආදායම රුපියල් බිලියන 79.6ක් දක්වා පහත වැටී ඇත. පසුගිය වසරට සාපේක්ෂව පොලී වියදම් 7.3%කින් අඩු වී රුපියල් බිලියන 45.8ක් ලෙස පෙන්නුම් කර ඇත. එහි ප‍්‍රතිඵලයක් ලෙස ශුද්ධ පොළී ආදායම (NII) පසුගිය වසරේ මුල් මාස 9ට සාපේක්ෂව 10.6%කින් අඩු වී රුපියල් බිලියන 33.8 ක් වී ඇත.

කොවිඞ්-19 වසංගතයේ අඛණ්ඩ බලපෑමෙන් ආනයන සඳහා පනවා ඇති සීමාවන්, විදේශ කාඞ්පත් ගනුදෙනු ප‍්‍රමාණය අඩු වීම, ශ්‍රී ලංකා මහ බැංකුව ආරම්භ කළ කොවිඞ් සහන යෝජනා ක‍්‍රමයේ කොටසක් ලෙස ඇතැම් ගාස්තු කපා හැරීම හා ආර්ථිකය සඳහා පහළ මට්ටමේ ක‍්‍රියාකාරීත්වය ආදියෙහි ප‍්‍රතිඵලයක් ලෙස ශුද්ධ ගාස්තු සහ කොමිස් ආදායම පසුගිය වසරට සාපේක්ෂව 18.9%කින් අඩු වී රුපියල් බිලියන 5.4ක් වී ඇත. කෙසේ වෙතත්, ගනුදෙනුකරුවන් සමාජ දුරස්ථභාවය හා සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට යටත්ව ඩිජිටල් මාධ්‍ය වෙත මාරු වීම නිසා ඩිජිටල් බැංකු සේවා හා වේදිකාවලින් ලැබුණු ආදායමේ සැලකිය යුතු ඉහළ යාමක් බැංකුව පෙන්නුම් කර ඇත.

HNB හි කළමනාකාර අධ්‍යක්ෂ/ප‍්‍රධාන විධායක නිලධාරී ජොනතන් අලස් මහතා බැංකුවේ මූල්‍ය ප‍්‍රතිඵල පිළිබඳ සිය අදහස් දක්වමින් ‘‘කොවිඞ්-19 දෙවන රැල්ල ඇති වීමට පෙර අප රට පසුගිය මාස කිහිපය තුළ ධනාත්මක මාවතක ගමන් කරමින් සිටියා. කෙසේ වෙතත්, මෙය ලොව පුරා ඇති වී තිබෙන පොදු තත්වයක් ලෙස සැලකිය හැකියි. එබැවින් මෙරට පහළ මට්ටමේ ව්‍යවසායකයින් නැවත නගා සිටු වීමට හා ‘නව සාමාන්‍ය තත්වයට හැඩ ගැසීම සඳහා අවශ්‍ය සහාය ලබා දීම වැදගත්ය. ඒ අනුව බැංකුව සැප්තැම්බර් වන විට කොවිඞ්-19 වසංගතයෙන් බලපෑමට ලක් වූ පුද්ගලයින් සහ ව්‍යවසායන් 85,000කට වැඩි සංඛ්‍යාවකට ණය පමා සහන ලබා දීමට අමතරව, ශ්‍රී ලංකා මහ බැංකුව සමඟ එක්ව සෞභාග්‍යා ණය යෝජනා ක‍්‍රම යටතේ රුපියල් බිලියන 24ක කාරක ප‍්‍රාග්ධන ණය පහසුකම් සලසා දී තිබෙනවා. පසුගිය වසර දෙක පුරා රට මුහුණ දුන් ව්‍යවසනකාරී තත්වයන් හමුවේ පීඩාවට පත් වූ අංශවලට අවශ්‍ය මූල්‍ය සහයෝගය ලබා දීමට මෙරට බැංකු ක්ෂේත‍්‍රය පියවර ගත්තා. එබැවින් අපගේ ආර්ථිකයේ වඩාත් අවදානමට ලක් විය හැකි අංශවලට සහාය දැක්වීමට අදාල බලධාරීන් තිරසාර, දිගුකාලීන විසඳුම් හා වඩාත් ස්ථාවර විකල්ප අරමුදල් ක‍්‍රම හඳුන්වා දෙනු ඇති බව අප දැඩිව විශ්වාස කරනවා.’’ යනුවෙන් පැවසුවේය.   

බැංකුවේ අක‍්‍රීය ණය අනුපාතය (NPA) 2019 දෙසැම්බර් මාසයේ 5.91%ට සහ 2020 ජුනි 30 වැනිදා 6.4%ට සපේක්ෂව 6.51%ක් ලෙස වර්ධනය වී ඇත. කෙසේවෙතත් 2019 දෙසැම්බර් මාසයේදී රජයට අයත් ආයතනයකට ලබා දුන් රුපියල් බිලියන 11.5ක නොපිය වූ ණය ප‍්‍රමාණය 2020 ඔක්තෝම්බර් මසදී නියාමනය කරන ලදී. මෙම නියාමනය සිදු කිරීමෙන් අනතුරුව 2020 සැප්තැම්බර් මාසයේ වාර්තා වූ අක‍්‍රීය ණය අනුපාතය 6.51% සිට 5.06% දක්වා අඩු කර ගැනීමට හැකි වනු ඇත. අදාල කාල පරිච්ෙඡ්දය සඳහා හානි පූරණය 2019 වර්ෂයේ මාස 9ක කාලයට සාපේක්ෂව 45.6%කින් වර්ධනය වී රුපියල් බිලියන 11.8ක් වී ඇත.

Visits: 274