2021 අයවැය ගැන ආයෝජක විශ්වාසය පැවතියත් ASPI ඍණ වෙයි

අද දිනයේදී  (නොවැම්බර් 18) කොළඹ කොටස් වෙළෙඳ පොළ ගනුදෙනු ආරම්භයේදීම කුකුළු මස් නිෂ්පාදන සහ කෘෂිකාර්මික අංශයේ සමාගම් පිළිබඳව ආයෝජකයන් අතර ඉහළ ආකර්ෂණයක් පෙන්නුම් කිරීමත් සමගින්ම දර්ශක අගයන් ඉහළ යාමක් පෙන්නුම් කළ බව කොටස් තැරැව්කාර සමාගම් පවසයි. එහෙත් නිෂ්පාදන අංශයේ සමාගම් තුළ ලාභ ඉපැයීම සඳහා ආයෝජකයන් යොමුවීමත් සමගින්ම දර්ශක අගයන් ඍණ අගයකට පත් වී තිබේ. කෙසේ වෙතත් දිනයේ අවසන් අදියරේදී දර්ශක අගයන් යම් යථාවත්වීමක් පෙන්නුම් කළද සමස්ත කොටස් මිල දර්ශකය ඍණ අගයක් වීම වැළැක්වීමට එය ප්‍රමාණවත් නොවූ බවද එම සමාගම් සඳහන් කරයි.

ඒ අනුව මෙහිදී සමස්ත කොටස් මිල දර්ශකය (ASPI) අද දිනයේදී ඒකක 6,085.86ත් ඒකක 6,143.34ත් අතර අගයක විචලනයක් පෙන්වීය. එහිදී දිනය නිමා වනවිට එය ඒකක 6,108.22 ක් බවට පත්විය. ඊයේ (නොවැම්බර් 17) දිනයට සාපේක්ෂව එය ඒකක 0.71 ක් එනම් -0.01%ක පහළ යාමක් පෙන්නුම් කර ඇත.

පෙර සිදු කළ සාකච්ඡාවකට අනුව සිලෝන් කෝල්ඩ් ස්ටෝර්ස් පීල්සී, ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී සහ ලී හෙජස් පීඑල්සී යන සමාගම් සිදු කළ ගනුදෙනු අද දවසේ පිරිවැටුමෙන් 6%ක් සඳහා දායකත්වයක් ලබා දී තිබේ.

එසේම අද දිනයේ සිදු වූ සමස්ත ගනුදෙනු අතර සමාගම් 70ක මිල ගණන් ඉහළ ගිය අතර, සමාගම් 107ක මිල ගණන් පහළ යාම සිදු විය.

මෙහිදී සමස්ත කොටස් මිල දර්ශකයේ විචලනය සඳහා වැඩිම දායකත්වය සැපයූ සමාගම් වූයේ ඩිස්ටිලරීස් කම්පැනි ඔෆ් ශ්‍රී ලංකා පීඑල්සී DIST (+7.38), නෙස්ලේ ලංකා පීඑල්සී NEST (+4.58), හේමාස් හෝල්ඩිංග්ස් පීඑල්සී HHL (+2.73),  මෙල්ස්ටාකෝර්ප් පීඑල්සී MELS (+2.41), යුනයිටඩ් මෝටර්ස් ලංකා පීඑල්සී UML (+2.38),  කාර්සන්ස් කුම්බර්බැච් පීඑල්සී CARS (-3.56), රිචර්ඩ් පීරිස් ඇන්ඩ් කම්පැනි පීඑල්සී RICH (-3.27), ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී SLTL (-2.9),  එක්ස්පෝ ලංකා හෝල්ඩිංග්ස් EXPO (-2.69) සහ එල්ඕඑල්සී පීඑල්සී LOLC (-2.4) යනාදී සමාගම්ය.

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් දවසේ ගනුදෙනු නිමාවේදී ඒකක 2,397.26 ක අගයක් ගත් අතර, එය ඊයේ (නොවැම්බර් 17) දිනයට සාපේක්ෂව ඒකක 1.55 ක එනම් +0.06%ක ඉහළ යාමකි.

මෙහිදී දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 2.45ක් ලෙස සටහන්ව තිබූ අතර, එය ඊයේ (නොවැ 17දා) වාර්තා කළ රුපියල් බිලියන 2.21ට සාපේක්ෂව 11%ක ඉහළ යාමකි. එහිදී විදේශීය ආයෝජකයන් තවදුරටත් දිනයේ වැඩිම අලෙවිකරුවන් පිරිසක් බවට පත් විය.

ඒ අනුව මේ තත්ත්වයත් සමගම දිනයේ සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 2.66ක අගයකට පත්ව ඇති අතර එය මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අද දිනය දක්වා 6.58%ක අලාභයක් ලෙස සටහන්ව තිබේ.

මේ අතර, දිනයේ සමස්ත විදේශීය මිලදී ගැනීම්වල වටිනාකම රුපියල් මිලියන 172.97ක් ලෙස සටහන් විය. එසේම සමස්ත විදෙස් විකුණුම් රුපියල් මිලියන 223.95 ක අගයක් ගෙන තිබේ.

දිනයේ දළ විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 50.98කි. ඒ අනුව වසරේ ආරම්භයේ සිට මේ දක්වා සමස්ත විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් බිලියන 47.74ක් ලෙස සටහන්ව තිබේ.

මෙහිදී මිලදී ගැනීම් යටතේ වැඩිම දායකත්වය සිලෝන් කෝල්ඩ් ස්ටෝර්ස් පීඑල්සී විසින් ලබා දී ඇති අතර, එම ආයෝජන ගලාඒම්හි වටිනාකම රුපියල් මිලියන 50.65කි. එසේම ටී ජේ ලංකා පීඑල්සී විකුණුම් යටතේ වැඩිම දායකත්වයක් ලබා දුන් අතර ඒ හරහා සිදුවූ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 61.51ක් ලෙස සටහන්ව ඇත.

මේ අතර දිනයේ සමස්ත පිරිවැටුමෙන් රුපියල් මිලියන 623ක් සඳහා ආහාර, පානවර්ග සහ දුම්කොළ අංශය දායකත්වය ලබා දී ඇති අතර, එය ප්‍රතිශතයක් ලෙස 25% ක අගයක් ගෙන තිබේ. ප්‍රවාහන සහ ප්‍රාග්ධන භාණ්ඩ අංශ දෙවැනි සහ තෙවැනි ස්ථාන බවට පත්වෙමින් පිළිවෙලින් රුපියල් මිලියන 548ක සහ රුපියල් මිලියන 445ක දායකත්වයක් දිනයේ පිරිවැටුම සඳහා ලබා දී ඇත.

Visits: 229