බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොල දෙවැනි පර්යන්ත ව්‍යාපෘතියේ වැඩ ඇරඹෙයි

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපො‍ලේ, දෙවැනි පර්යන්තය ඉදිකිරීමේ ව්‍යාපෘතියේ වැඩ අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ මූලිකත්වයෙන් ඊයේ දිනයේදී ආරම්භ විය. රජයේ සෞභාග්‍යයේ  දැක්ම යටතේ ගුවන්තොටුපොල ගුවන්සේවා (ශ්‍රී ලංකා) පුද්ගලික ආයතනය ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ගුවන්තොටුපොලවල් සංවර්ධනය කිරීම ආරම්භ කිරීමට සමඟාමීව මෙම ව්‍යාපෘතියේ වැඩ ඇරඹුණු බව අගමැති කාර්යාලය පවසයි.

බණ්ඩාරනායක ගුවන්තොටුපොල 2 අදියර ඉදිකිරීමේ කටයුතුවල සේවා දායක සපයනු ලබන්නේ ගුවන්තොටුපොල හා ගුවන්සේවා අධිකාරියයි. JV, ජපාන ගුවන්තොටුපොල උපදේශ සමාගම් හා නිපොන් කොයි සමාගම එහි උපදේශකත්වය දරනු ඇත.

දැනට බණ්ඩාරනායක ගුවන් තොටුපොළේ ඇති මගී පර්යන්තය මගීන් ලක්ෂ 60ක මෙහෙයුම් සඳහා ප්‍රමාණවත් ලෙස සකසා ඇති නිසා වර්තමානයේ මගී මෙහෙයුම් කටයුතු සඳහා එය ප්‍රමාණවත් නොවීමෙන් ගැටලු ඇතිවී තිබුණි.          

වසර 3 ක කාලයකින් මෙහි වැඩ කටයුතු අවසන් කිරීමට අපේක්ෂිත අතර ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සිය (ජයිකා)  මුල්‍ය සැපයුම් කරු ලෙස කටයුතු කරනු ලබයි. ජපානයේ ටායිසේයි සමාගම ව්‍යාපෘති කොන්ත්‍රාත්කරු ලෙස කටයුතු කරයි. වැඩ නිම වීමෙන් පසු 90 ලක්ෂයක මඟී ධාරිතාවක් ක්‍රියාත්මක කිරීමට නියමිත මෙහි, සම්පූර්ණ ණය මුදල 100%ම ගුවන් තොටුපොල  හා ගුවන්සේවා ආයතනය මඟින් ගෙවනු ලබයි.

නව තාක්ෂණ භාවිතය තුළින් වැඩ අවසන් කිරීමට නියමිත මෙහි පැමිණෙන හා පිටත්වෙන මගින් වෙන් කිරීම, මධ්‍යගත ආරක්ෂක පාලන ක්‍රමය, බහු මහල් වාහන නැවතුමේ සිට ගුවන්තොටට සෘජු පැමිණීමේ / පිටවීමේ පහසුකම්, විශාල ගුවන් යානා ගමන් සඳහා වෙන් කළ මඟී පිවිසුම් ගේට්ටු (Air bus   A380), විශේෂ අමුත්තන්ගේ විවේකාගර, ගුවන්සේවා විවේකාගාර වෙනත් විවේකාගාර – පැමිණීම් හා පිටවීම්, විවෘත සංකල්පය යටතේ ගේට්ටු යාබද විවේකාගර, තීරු බදු රහිත සාප්පු, ආපන ශාලා, ආහාර පාන සැපයීම් රැදවුම් මඟීන්ට මහා පර්යන්තයෙන් පිටත, නැරඹුම් ගැලරිය, යනාදී අංග සම්පූර්ණ සැකැස්මකින් සමන්විතය.

2014 වර්ෂයේදී එවකට ජනාධිපතිව සිටි මහින්ද රාජපක්ෂ මහතාගේ හා එවකට ජපානයේ අගමැති ශින්ෂෝ අබේ මහතාගේ සහභාගීත්වයෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොලේ 2වන අදියරේ කටයුතු ඇරඹුණි. එහෙත්, 2015 දී බලයට පත්වූ යහපාලන ආණ්ඩුව එම සංවර්ධන ව්‍යාපෘතිය ඉදිරියට ක්‍රියාත්මක කිරීම විවිධ හේතු දක්වමින් ප්‍රමාද කර තිබුණි..

ඒ හේතුවෙන් යහපාලන ආණ්ඩුවේ සමස්ත කාලය තුළ මෙහි සංවර්ධන කටයුතු ඇණ හිටි තිබිණි. නමුත් වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු මෙහි ඉදිකිරීම් කටයුතු කඩිනම් කිරීමට අවශ්‍ය පියවර ගෙන තිබේ. ඒ සෞභාග්‍යයේ දැක්ම වැඩ සටහනේ සඳහන් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොල පුළුල් කිරීමේ ව්‍යාපෘතියේ දෙවන අදියර කඩිනමින් ආරම්භ කරන බවට සඳහන් ප්‍රකාශය ඉටුකිරීම වෙනුවෙනි.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ජන්ම දිනයට සමගාමීව හා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පදවි ප්‍රාප්තියට සමගාමීව මෙම ව්‍යාපෘතිය ඉදිකිරීම නැවත ඇඹෙන්නේ ඒ අනුව බව අගමැති කාර්යාලය පවසයි.

මෙම අවස්ථාව සඳහා සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග, ගුවන්සේවා හා අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.වී.චානක, රාජ්‍ය අමාත්‍යවරුන් වන ඉන්දික අනුරුද්ධ, නිමල් ලන්සා, තාරක බාලසූරිය, නාලක ගොඩහේවා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සහන් ප්‍රදීප්, කෝකිලා ගුණවර්ධන, නලීන් ප්‍රනාන්දු, ශ්‍රී ලංකා ගුවන් තොටුපල හා ගුවන් සේවා සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් ජී.ඒ.චන්ද්‍රසිරි, සංචාරක අමාත්‍යංශ ලේකම් එස්. හෙට්ටිආරච්චි, ගුවන්සේවා හා අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍යංශ ලේකම් මාධව දේවසුරේන්ද්‍ර මහත්ම මහත්මීන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් එක්ව සිට ඇත.

Visits: 144