COVID-19 එන්නතේ සාර්ථකත්වත් සමගම ලොජිස්ටික් සේවා සඳහා ඉල්ලුම තවත් ඉහළ යන ලකුණු

ලොව පුරා දැනට සිදු කෙරෙමින් පවතින COVID-19 වෛරසයට එරෙහි එන්නත් නිෂ්පාදනයේ සාර්ථකත්වයත් සමගින්ම ඉදිරියේදී මිලියන ගණනින් නිපදවෙන එම එන්නත් ලොව පුරා ප්‍රවාහනය සඳහා සඳහා ලොජිස්ටික් සේවාවල ඉහළ දායකත්වයක් සමගින් එම සමාගම් වෙත වන ඉල්ලුම ඉහළ යනු ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

එක්සත් ජනපදයේ Pfizer සහ Moderna යන සමාගම්වල එන්නත් මෙන්ම, රුසියාවේ Sputnik V එන්නතද මේ වනවිට සාර්ථක බව පවසා තිබේ. එසේම චීනයේ සිනෝවැක් සමාගම නිපදවූ කොරෝනාවැක් එන්නතද සාර්ථක බව ප්‍රකාශ කෙරී ඇත.

ඒ අතරින් Pfizer සමාගම මේ වසරේදී එන්නත් මිලියන 50ක්ද ලබන වසරේදී එන්නත් බිලියන 1.3ක්ද නිපදවන බව පවසා තිබේ. එසේම එක්සත් රාජධානිය සහ යුරෝපා සංගමයද දැනටමත් එන්නත් මිලියන 400ක් ඇනවුම් කර ඇත.

දින 28ක කාල පරාසයකදී එක් පුද්ගලයෙකු වෙනුවෙන් මෙම එන්නත් දෙකක් ලබා දීම සිදු කෙරේ. ඒ අනුව ඉදිරි වසරේදී හෝ දෙකේදී ලොව වෙසෙන බිලියන 7ක ජනගහනයට සරිලන ලෙස ලොව පුරා එන්නත් බිලියන 14ක් බෙදාහැරීමට සිදු වෙයි.

මෙහිදී අදාළ එන්නත් ගබඩා කිරීම සහ ප්‍රවාහනය සෙල්සියස් අංශක -70ක් වැනි අඩු උෂ්ණත්වයක් සහිත විශේෂයෙන්ම සැකසූ ගබඩා පහසුකම් මෙන්ම බහාලුම් පහුසකම්ද තිබිය යුතුව ඇත. එසේ නොවුනහොත් එන්නතේ බල බිඳීමක් සිදු වීම ඊට හේතුවයි.

ඒ අනුව දැනටමත් ලොව ප්‍රධාන පෙළේ භාණ්ඩ ප්‍රවාහන සේවා වන DHL, UPS සහ FedEX යන සමාගම් ඒ සඳහා අවශ්‍ය ලෙස සිය ප්‍රවාහන මාධ්‍ය තුළ අධිශීතකරණ පහසුකම් සවි කරමින් මේ සඳහා සූදානමින් පසුවන බවත් පැවසෙයි.

එක්සත් ජනපදයේ Pfizer සමාගමට අනුව මෙම එන්නත් ප්‍රවාහනය කෙරෙන්නේ වියළි අයිස් තැන්පත් කරමින් විශේෂයෙන්ම සකස් කළ සූට්කේසයක් හා සමාන ප්‍රමාණයෙන් යුත් බහාලුමක් තුළයි. මෙම වියළි අයිස් කර්මාන්ත තුළ බහුලව යොදා ගන්නා අතර, කාබන් ඩයොක්සයිඩ් වායුවේ ඝනකම් මාදිලිය ලෙස මෙම වියලි අයිස් සැලකෙයි.

එසේම මෙම එන්නත් ගබඩා කර තැබීමේදී මාත්‍රා 1,000ක් පමණ රඳවා තැබිය හැකි බහාලුම් තුළ ඒවා තැන්පත් කරයි. ඒ වෙත යොදන වියළි අයිස්ද දින 15කට වරක් අලුත් කළ යුතුව ඇත. අනතුරුව එන්නත් නිෂ්පාදනාගාරයේ සිට එම බහාලුම් ගුවන් තොටුපොළ වෙත රැගනෙ යන අතර, පසුව විවිධ රටවලට සහ ඒවායේ නගර වෙත ඒවා ප්‍රවාහනය කරයි.

Visits: 552