ආනන්ද සෙනෙවිරත්න ටෙලිකොම් අධ්‍යක්ෂ මණ්ඩලයෙන් ඉල්ලා අස්වෙයි

ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී සමාගමේ ස්වාධීන-විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කළ ආනන්ද කිත්සිරි සෙනෙවිරත්න මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වී ඇතැයි එම සමාගම පවසයි. නොවැම්බර් 12 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ඒ මහතා අධ්‍යක්ෂ මණ්ඩලයෙන් ඉවත් වී තිබේ.

සෙනෙවිරත්න මහතා මේ වසරේ ජනවාරි මාසයේදී ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල ධුරයට පත් විය. එම ධුරයෙන් ඉල්ලා අස් වන අවස්ථාවේදී ඒ මහතා සතුව ටෙලිකොම් සමාගමේ කිසිදු කොටස් හිමිකමක් නොපැවැති බවද සමාගම සඳහන් කරයි.

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ අධි ශ්‍රේණියේ නිලධාරියෙකු වන ආනන්ද කිත්සිරි සෙනෙවිරත්න මහතා 2018 වසරේදී ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කළේය. 1995 වසරේදී පරිපාලන සේවාව වෙත එක්ව ඇති ඒ මහතා, මුදල් අමාත්‍යාංශය යටතේ පැවැති ආයතනවල මහභාණ්ඩාර නියෝජිතයා ලෙස අධ්‍යක්ෂධුරය දරා ඇත.

Visits: 131