ලබා ගත් ණය පියවීමට ඒඩ්න් හොටෙල් ලංකා පීඑල්සී හිමිකම් නිකුතුවකට සැරසෙයි

කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත සමාගමක් වන ඒඩ්න් හොටෙල් ලංකා පීඑල්සී (EDEN HOTEL LANKA PLC) සමාගම සිය ප්‍රාග්ධන අලාභ මඟහරවා ගැනීම සහ ලබා ගත් ණය ආපසු ගෙවීම් අරමුණු කරගනිමින් හිමිකම් නිකුත්වක් සිදු කිරීමට සැලසුම් කර ඇතැයි පවසයි. ඒ අනුව ලබන නොවැම්බර් 26 වැනිදා පැවැත්වෙන එම සමාගමේ වාර්ෂික මහා සභා රැස්වීමෙන් අනතුරුව මෙම හිමිකම් නිකුතුව සිදු කරන දිනය පිළිබඳව තීරණයක් ගන්නා බවත් සමාගම සඳහන් කරයි.

මෙහිදී ඒඩ්න් හොටෙල් ලංකා පීඑල්සී සමාගම මගින් සාමාන්‍ය ඡන්ද හිමි කොටස් මිලියන 422ක් (422,400,000) නිකුත් කිරීමට සූදානමින් සිටින බව පවසයි. ඒ අනුව මෙහිදී දැනට සමාගමේ කොටස් මිලියන 105.6ක් (105,600,000) ක හිමිකාරීත්වය සහිත කොටස්හිමියන් වෙත මෙම කොටස් හිමිකම් නිකුතුව සිදු කිරීම සැලසුම වී ඇත.

එහිදී ලබන නොවැම්බර් 26 වැනිදා වනවිට කොටස්හිමිකරුවෙකු ලෙස ලියාපදිංචි වී සිටින මෙම කොටස් හිමිකරුවන් වෙත දැනට ඔවුන්ට හිමි එක් සාමාන්‍ය ඡන්ද හිමි කොටසකට තවත් කොටස් 4ක් බැගින් හිමි වන ලෙස මෙම කොටස් හිමිකම් නිකුතුව සිදු කෙරෙන බවද සමාගම පවසයි.

ඒ අනුව කොටසක් රුපියල් 10 බැගින් මෙහිදී නිකුත් කිරීම සිදු වෙයි. පසුගිය ජූනි 30 වැනිදා වනවිට ඒඩ්න් හොටෙල් ලංකා පීඑල්සී සමාගමේ කොටසක වටිනාකම රුපියල් 12.60ක් විය. අගෝස්තු මාසයේදී එය රුපියල් 13ක් බවට පත් වු අතර සැප්තැම්බර් මාසය වනවිට 12.00 ක් බවට පත්ව තිබේ. ඊයේ දිනයේදී එය රුපියල් 10.60 ක් විය.

මෙහිදී මූලිකවම ඒඩ්න් හොටෙල් ලංකා පීඑල්සී සමාගම විසින් දැනට මුහුණ දී තිබෙන දරුණු ප්‍රාග්ධන අලාභ වෙත පිළිතුරක් ලෙස මෙම  හිමිකම් නිකුතුව සිදු කිරීම සැලසුම වී ඇත. එසේම පාර්ශ්ව කිහිපයක් වෙත ගෙවීමට ඇති ණය පියවීම සඳහාද මෙම කොටස් නිකුතුව සිදු කරන බව සමාගම පවසයි.

ඒ අතරින් සමාගම විසින් බ්‍රවුන් ඇන්ඩ් කම්පැනි පීඑල්සී වෙත රුපියල් 1,877,150,248 ක මුදලක්ද, එල්ඕඑල්සී හෝල්ඩිංග්ස් පීඑල්සී වෙත රුපියල් 556,025,689ක් ද, බ්‍රවුන්ස් හොටෙල්ස් ඇන්ඩ් රිසෝට්ස් ලිමිටඩ් වෙත රුපියල් 369,282,578ක් සහ බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් පීඑල්සී වෙත රුපියල් 4,414,827,803 ක් යනාදී ලෙස ණය වී ඇතැයි පවසයි.

මේ අතරින් බ්‍රවුන් ඇන්ඩ් කම්පැනි පීඑල්සී, එල්ඕඑල්සී හෝල්ඩිංග්ස් පීඑල්සී, බ්‍රවුන්ස් හොටෙල්ස් ඇන්ඩ් රිසෝට්ස් ලිමිටඩ් යන සමාගම් වෙත ඇති ණය සම්පූර්ණයෙන්ම ගෙවා දැමීමටත්, බ්‍රවුන්ස් ඉන්වෙන්ස්ට්මන්ට් පීඑල්සී සතු ණය අතරින් රුපියල් 1,421,541,485ක් ගෙවා දැමීමටත් මෙම  හිමිකම් නිකුතුව හරහා බලාපොරොත්තු වන බව ඒඩ්න් හොටෙල් ලංකා පීඑල්සී සමාගම වැඩිදුරටත් සඳහන් කරයි.

එසේම සමාගම නිකුත් කර ඇති කොටස් මිලියන 105.6ට අනුව අද වනවිට සමාගමේ ප්‍රකාශිත ප්‍රාග්ධනය ලෙස සටහන් වන්නේ රුපියල් 1,584,000,000 කි. යම් හෙයකින් මෙම හිමිකම් නිකුතුව සඳහා සම්පූර්ණ ඉල්ලුමක් පැවතිය හොත් සිය ප්‍රාග්ධනය රුපියල් මිලියන 5,808,000,000 ක් දක්වා ඉහළ යනු ඇතැයි සමාගම පවසයි.

ඒ අනුව ඒ සමගම සමාගමේ සමස්ත කොටස් ප්‍රමාණයද කොටස් 528,000,000 ක් දක්වා ඉහළ යන බවත් සමාගම වෙත අලුතින් නිකුත් කෙරෙන කොටස් 422,400,000 හරහා රැස් කරගන්නා රුපියල් 4,224,000,000 ක් ඒ තුළ ඇතුළත්ව තිබේ.

මෙහිදී සමාගම තුළ මෙවැනි අර්බුදයක් ඇති වීම සඳහා මූලිකවම කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතු වූ බවද සමාගම පවසයි. ඒඩ්න් හොටෙල් ලංකා පීඑල්සී සමාගමේ පරිපාලිත සමාගම් ලෙස දික්වැල්ල රිසෝට්ස් (පෞද්) සමාගම, ග්‍රීන් පැරඩයිස් (පෞද්) සමාගම මෙන්ම සන් ඇන්ඩ් ෆන් රිසෝට්ස් ලිමිටඩ් ලෙස පවතින ව්‍යාපාර සියල්ලක්ම පාහේ මේ වනවිට සිය වාණිජ මෙහෙයුම් සියල්ල තාවකාලිකව නවත්වා ඇති අතර ආගන්තුකයන් සඳහා සම්පූර්ණයෙන්ම වසා දමා තිබේ. එහෙත් අත්‍යවශ්‍ය සේවා ඇතුළු හෝටල් නඩත්තු කටයුතු සඳහා පමණක් සේවකයන් කිහිපදෙනෙකු පමණක් යොදවා ඇත.

ඒඩ්න් හොටෙල් ලංකා පීඑල්සී සමාගමේ දැනට පවතින කොටස් හිමිකාරීත්වය අනුව කොටස් 48,796,944ක් එනම්  46.209% ක ප්‍රතිශතයක් පාම් ගාර්ඩන් හොටෙල්ස් පීඑල්සී වෙත අයත් වෙයි. එසේම බ්‍රවුන්ස් හොටෙල්ස් ඇන්ඩ් රිසෝට්ස් ලිමිටඩ් වෙත එහි කොටස්  44,996,229ක් එනම් 42.610% ක ප්‍රතිශතයක් හිමිව තිබේ. මීට අමතරව සේවක භාරකාර අරමුදල එහි තෙවැනි විශාලතම කොටස් හිමිකරුවා වන අතර හිමි ප්‍රතිශතය 1.498% කි. ඒ සඳහා හිමිකම් ඇති කොටස් සංඛ්‍යාව 1,581,943 කි.

ඒ අනුව මෙම හිමිකම් නිකුතුවත් සමගින්ම සමාගමේ ප්‍රධානතම කොටස් හිමිකරුවා වන පාම් ගාර්ඩන් හොටෙල්ස් පීඑල්සී සතු කොටස් ප්‍රතිශතයද  ඉහළ යන බව සඳහන් වෙයි.

Visits: 264