ශ්‍රී ලංකා සංවර්ධන බැදුම්කර නිකුතුව හරහා ඩො. මිලියන 86.82ක් රැස් කරයි

ශ්‍රී ලංකා රජය මගින් පසුගියදා සිදු කරන එක්සත් ජනපද ඩොලරයෙන් නාමනය කරන ලද ශ්‍රී ලංකා සංවර්ධන බැදුම්කර නිකුතුව සඳහා  ඉදිරිපත් කෙරුණු ඩොලර් මිලියන 75 සැසඳීමේදී එහි පරිණත කාලයන් හතර මගින්ම සමස්ත වශයෙන් එක්සත් ජනපද ඩොලර් මිලියන 86.82ක මුදලක් රැස් කිරීමට හැකි වූ බව මහ බැංකුව පවසයි.

පසුගියදා සිදු කළ මෙම සංවර්ධන බැදුම්කර නිකුතුව නොවැම්බර් මස 10 වැනිදා සිට 13 වැනිදා දක්වා වලංගු වී තිබේ. ඒ අනුව මෙම වෙන්දේසියේදී එක්සත් ජනපද ඩොලර් මිලියන 28.82ක මුදලක් රැස් කිරීමට සමත්ව ඇතැයි මහ බැංකුව පවසයි. නොවැම්බර් 18 වැනිදා එහි ගෙවීම් කළ යුතු දිනය බවද සඳහන් කෙරී තිබේ. වසර 1 මාස 2 සිට වසර 4 මාස 2ක් දක්වා වන පරිණත කාලයන් ස්ථාවර ඵලදා අනුපාතිකය 6.69% සහ 6.82%ක් දක්වා ලෙස මෙම නිකුතුව සිදු කර ඇත.

එසේම මෙම වෙන්දේසියෙන් අනතුරුව සංවර්ධන බැදුම්කර සඳහා ඉදිරිපත් වූ කැමැත්ත හේතුවෙන් එක්සත් ජනපද ඩොලර් මිලියන 62ක අමතර මුදලක්ද එක් එක් පරිණත කාලයන්ට අදාළව, පෙර නිකුත් කළ ස්ථාවර ඵලදා අනුපාතිකය යටතේ ඊයේ (16දා) දිනය වනවිට රැස් කෙරුණු බවත් මහ බැංකුව පවසයි. එසේම ඊට අදාළ ගෙවීම් කළ යුතු දිනය වන්නේද නොවැම්බර් 18 වැනිදාය.

“ඒ අනුව වෙන්දේසිය සඳහා ඉදිරිපත් කළ එක්සත් ජනපද ඩොලර් මිලියන 75 හා සැසඳීමේදී සමස්ත වශයෙන් එක්සත් ජනපද ඩොලර් මිලියන 86.82ක මුදලක් පරිණත කාලයන් හතර මගින්ම රැස් කෙරිණි.” මහ බැංකුව සඳහන් කර සිටියි.

Visits: 110