“සති දෙකකට කොළඹ නගරය වසා දමන්න” – පුරපතිනී රෝසි සේනානායක

කොළඹ නගරය තුළ දිනෙන් දින කොවිඩ්-19 පොකුරු වර්ධනයවීමත් සමගින්ම එම තත්ත්වය පාලනය සඳහා සති දෙකක කාලයකට කොළඹ නගරය වසා දැමීමට අදාළ බලධාරීන් ගෙන් ඉල්ලා සිටින බව පුරපතිනී රෝසි සේනානායක මහත්මිය පවසයි.

අද වනවිට කොළඹ නගර සීමාව තුළ කොවිඩ්-19 ව්‍යාප්තිය පිළිබඳව ඩේලිමිරර් පුවත්පත් වෙත සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් පුරපතිනිය මේ අදහස් පළ කර තිබේ. “අපේ නගරය අනතුරක තිබෙන්නේ. ඒ නිසා මම අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා නගරය සති දෙකක කාලයකට වසා දමා මේ ඉහළ යන ආසාදිත වක්‍රය පහත හෙලන්න කටයුතු කරන්න කියලා.” ඇය පවසා තිබේ.

ඇය පුවත්පත වෙත සඳහන් කර ඇති ආකාරයට කොළඹ නගර සීමාව තුළ අහඹු ලෙස සිදු කළ පීසීආර් පරීක්ෂණ අතරින් 5%ක්ම ධනාත්මක බවට හඳුනාගෙන තිබේ.

“අද (නොවැම්බර් 16) වන විට කොළඹ නගර සීමාව තුළදී ආසාදිතයන් 4,339ක් වාර්තා වෙලා තිබෙනවා.” පුරපතිනිය සඳහන් කරයි. එසේම කොළඹ මහ නගර සභාවේ සේවකයන් 200  දෙනෙකුද මේ අතර වන බව පැවසෙයි.

“අපට හැකි උපරිමයෙන් මේ දක්වා නගරය තුළ පීසීආර් පරීක්ෂණ 25,237ක් සිදු කිරීමට කටයුතු යොදා තිබෙනවා. කොළඹ මහ නගර සභාව වෛද්‍ය වරුන් 25 දෙනෙකු සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 45 දෙනෙකුගේ සේවය ඒ සඳහා යොදා ගන්නවා.” ඇය පවසා තිබේ.

මෙහිදී විශ්‍රාම ගොස් සිටින මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ද නැවත සේවයට කැඳවීමට අවශ්‍ය යෝජනාවක් මහ නගර සභාව හරහා සම්මත කරගැනීමටද තමන් කටයුතු කළ බවත්, නගරයේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් මෙම ව්‍යාප්තිය පාලනය සඳහා වෛද්‍ය සිසුන්ද ඉදිරියට පැමිණෙනු ඇතැයිද තමන් විශ්වාස කරන බවත් ඇය මෙහිදී පුවත්පත වෙත පවසා ඇත.

“ඒ වගේම මම කොළඹ නගරයේ පිහිටි සමාගම්වලිනුත් ඉල්ලා සිටිනවා මේ මොහොතේදී හුදෙකලා කර තිබෙන ප්‍රදේශවල ජනතාවට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ඇතුළු දේ ලබා දීලා අපට සහාය වෙන්න කියලා.” යනුවෙන්ද ඇය මෙහිදී සඳහන් කර තිබේ.

එසේම කොළඹ මහනගර සීමාවේ වෙසෙන ජනතාවටද මෙහිදී වගකීමක් ඇති බවත්, ඔවුන් සියලු දෙනාම හැකි සෑම විටම නිවෙසටම වී සිටීමට වග බලා ගත යුතු බවත්, මුඛ ආවරණ පැළැදීම සහ නිරන්තරයෙන්ම දෑත් සේදීම සිදු කළ යුතු බවත් පුරපතිනිය වැඩිදුරටත් පවසා තිබේ.

 “ජනතාවගෙන් ලැබෙන සහයෝගය නොමැතිව මේ රෝගය ව්‍යාප්තවීම පාලනය කිරීම ඉතාමත් අසීරුයි.” ඇය අවසන් වශයෙන් සඳහන් කර ඇත.

Visits: 147