විදේශ අමාත්‍යාංශයෙන් ශ්‍රී ලාංකික සංචාරකයින් හට අනතුරු හැඟවීමක්

ශ්‍රී ලංකාවට ඇතුළුවීමට හෝ පිටවීමට පහසුකම් සලසන රාජ්‍ය ආයතනවලට හැර, වෙනත් කිසිදු පුද්ගලයෙකුට හෝ ආයතනයකට ශ්‍රී ලංකා රජය විසින් එවැනි පහසුකම් සැලසීම සඳහා  අවසර දී නොමැති බව විදේශ අමාත්‍යාංශය නිවේදනය කර සිටියි.

ඒ අනුව ශ්‍රී ලංකාවට හෝ වෙනත් ඕනෑම තෙවැනි රටකට ඇතුළුවීමට අවසර ලබා දීම සඳහා ගෙවීම්/ගාස්තු හෝ ඕනෑම ආකාරයක මූල්‍යමය අයකිරීමක් ඉල්ලා සිටින පුද්ගලයින්ගෙන් ප්‍රවේශම් වන ලෙස ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශය ශ්‍රී ලංකාවට පැමිණෙන සහ පිටතට යන සියලුම සංචාරකයින්ගෙන් අවධාරණයෙන් යුක්තව ඉල්ලා සිටියි.

විශේෂයෙන්ම මෙරට තුළ ආසාදිතයන් සංඛ්‍යාව ඉහළ යාම හේතුවෙන් තාවකාලිකව අත්හිටුවන ලද විදෙස් රටවල සිරවී සිටින ශ්‍රී ලාංකිකයන් නැවත මෙරටට ගෙන්වා ගැනීමේ ක්‍රියාවලිය ඉදිරි සතිවල දී නැවත ආරම්භ කිරිමත් සමගින්ම අමාත්‍යාංශය මගින් මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කර තිබේ. මෙහිදී වඩාත් අවදානමට ලක්විය හැකි සහ සුදුසුම පුද්ගලයන්ට ප්‍රමුඛතාවය දෙමින් නැවත ගෙන්වා ගැනීමේ ක්‍රියාවලිය සිදු කෙරේ. 

මෙහිදී විදේශ රටවල පදිංචිව සිටින අයට වැඩිදුර හා සත්‍ය තොරතුරු ලබා ගැනීම සඳහා ළඟම ඇති ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හෝ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය හෝ කොන්සල් ජනරාල් කාර්යාලය ඇමතිය හැකි බව විදේශ අමාත්‍යාංශය පවසයි.

එසේ නැතහොත් ඔබේ ගැටලු https://www.contactsrilanka.mfa.gov.lk/ වෙබ් ලිපිනයෙහි පිහිටි ‘ශ්‍රී ලංකාව අමතන්න’  අන්තර්ජාල ද්වාරය වෙත යොමු කළ හැකි බවත් අමාත්‍යාංශය දැනුම් දී සිටියි.

Visits: 56