“Covid-19 ආසාදිත චීන ජාතිකයන් හමු වූ ඉදිකිරීම් ව්‍යාපෘතිය සාමාන්‍ය පරිදි ඉදිරියට” – චීන තානාපති කාර්යාලය

කොටහේන ප්‍රදේශයේ ඉදිකිරීම් ව්‍යාපෘතියක සේවය කළ චීන ජාතිකයන් සිව් දෙනෙකු සහ ශ්‍රී ලාංකිකයින්  දෙදෙනෙකුට Covid-19 රෝගකාරක වෛරසය ආසාධනය වී ඇති බවත්, එම පිරිස අද වන විට රජය වෙනස් කරන ලද රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින බවත් චීන තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. එසේම මෙම ව්‍යාපෘතියද සාමාන්‍ය පරිදි පවත්වාගෙන යන බවද එම කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරයි.

අදාළ ව්‍යාපෘතියේ සේවය කරන සියලුම දෙනාගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් සිදුකළ පරීක්ෂණ වලදී මේ බව තහවුරු වී  තිබේ. එම පිරිසට වෛරසය ආසාදනය වී ඇතත්  රෝග ලක්ෂණ නොමැති බව තානාපති කාර්යාලයට දැනගන්නට ලැබී ඇතැයි පවසයි.

“එහිදී මෙම සියලු සේවකයින් හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවෙනවා. ඔවුන් රජය වෙන් කරන ලද රෝහලක ප්‍රතිකාර ලබා ගනිමින් සිටිනවා. එසේම තානාපති කාර්යාලයද ඔවුන්ට ඉක්මන් සුවය ප්‍රර්ථනා කරනවා. අප සැබවින්ම ජීවත්වන්නේ මනුෂත්වය ඛෙදා හදා ගන්නා ප්‍රජාවක් තුළයි.” යනුවෙන් තානාපති කාර්යාලය එම නිවේදනයේ සඳහන් කර තිබේ.

ව්‍යාපෘතියේ සෞඛ්‍ය අධීක්ෂකගේ මූලික විශ්ලේෂණයට අනුව, දේශීය කොන්ත්‍රාත් සමාගමක හුවමාරු වන ශ්‍රමිකයන් සමග සමීප සම්බන්ධතා පැවැත්වීම ආසාදනයට හේතු විය හැකි බවද එහිදී සඳහන්ව තිබේ. එසේම එය මෑතකදී මතු වූ ද්විත්ව පොකුරු සමග සම්බන්ධ වී තිබේද යන්න වැඩිදුර පර්යේෂණ සිදු කරනු ලබන බවත් පවසයි.

“මෙම අසාදිතයින් කල්තියා හඳුනා ගැනීම සහ කාලෝචිතව ගත්  ක්‍රියාමාර්ග හේතුවෙන්, වෛරසය පැතිරීම වලක්වා ගැනීමට හැකිවූ අතර ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු සාමාන්‍ය පරිදි සිදු වේ. කම්කරුවන්ගේ සහ සාමාන්‍ය ජනතාවගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා දැඩි සෞඛ්‍යාරක්ෂක පියවර සහ විෂබීජහරණය කිරීමේ කටයුතු සිදුකරනු ලැබීය.” තානාපති කාර්යාලය පවසයි.

වසංගත රෝගය වාර්තා වීමෙන් පසු ගත වූ මාස අටක කාලය තුළ, චීන සමාගම් විසින් සිදු කරන ව්‍යාපෘති වල දේශීය හා විදේශීය ශ්‍රමිකයන්  විශාල සංඛ්‍යාවක් සේවයේ යොදවා ඇති අතර මෙලෙස වෛරසය අසාදනය වූ ශ්‍රමිකයින් හමු වූයේ පළමු වතාවටයි.

සෞඛ්‍ය මාර්ගෝපදේශ නිවැරදිව අනුගමනය කරන චීන ව්‍යවසායන් විසින් සිදු කරනු ලබන  පූර්වාරක්ෂක වැඩපිළිවෙල ඊට හේතුව බව තානාපති කාර්යාලය පවසයි. ඔවුන්ගේ සමාජ වගකීම සහ කැපවීම හේතුවෙන් මෙරට බොහෝ චීන ව්‍යාපෘති බාධාවකින් තොරව සිදුකිරීමට අවස්තාව ලැබී ඇති අතර ඒවායෙන්  වර්තමාන දුෂ්කර ආර්ථික  තත්වයෙන් ගොඩ ඒමට සහ රැකියා සඳහා දායකත්වයක් ලැබී ඇතැයිද සඳහන් කරයි.

මේ අතර, කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ Covid-19 පොකුරක් පිළිබඳ යම් වැරදි තොරතුරු ප්‍රචාරණය වෙමින් ඇති බව තානාපති කාර්යාලයට දැනගැනීමට ලැබී ඇති බවත්, අදාළ කාරණය සම්බන්ධයෙන් එම සමාගම මේ වන විටත් පැහැදිලි කිරීමක් නිකුත් කර ඇතැයිද තානාපති කාර්යාලය වැඩිදුරටත් පවසා සිටියි.

Visits: 60