COVID-19 යළිත් වටයකට වෙළෙඳ පොළ ගනුදෙනු පාලනය සියතට ගන්නා හැඩ

රට පුරා ව්‍යාප්ත වෙමින් පවතින කොවිඩ් -19 වසංගතය පිළිබඳ කනස්සල්ල හේතුවෙන් අද (නොවැම්බර් 13) වැනිදා කොළඹ කොටස් හුවමාරුව තුළ ගනුදෙනු ලාභ හිමිකර කරගැනීමේ අවස්ථාවක් බවට පත් කර ගැනීමේ ප්‍රතිඵලයක් ලෙස දර්ශක අගයන් කඩා වැටීමකට ලක් වූ බව කොටස් තැරැව්කාර සමාගම් පවසයි.

විශේෂයෙන්ම බොහෝ සමාගම් ඉහළ කාර්ය සාධනයක්ද සහිතව ඉදිරි ලාභාංශ ගෙවීම් පිළිබඳව වාර්තා කර තිබුණු පසුබිමකදී මෙම අවස්ථාව උදා වීම කැපී පෙනේ. කෙසේ වෙතත් මේ හරහා මිල අඩු වූ කොටස් මිලදී ගැනීම සඳහා ආයෝජකයන් අතර උනන්දුව ඉහළ යාම දෛනික ගනුදෙනු අතර සිදු වීමට ගිය එම කඩා වැටීම යම් තරමකට පාලනය වෙමින් දර්ශක අගයන් තවදුරටත් ඒකක 6,000 ඉක්මවන මට්ටමේම පවත්වාගෙන යාමට හැකි වූ බවත් එම සමාගම් පවසයි.     

ඒ අනුව මෙහිදී සමස්ත කොටස් මිල දර්ශකය (ASPI) අද දිනයේදී ඒකක 6,075.12ත් ඒකක 6,104.06ත් අතර අගයක විචලනයක් පෙන්වීය. එහිදී දිනය නිමා වනවිට එය ඒකක 6,082.42 ක් බවට පත්විය. ඊයේ (නොවැම්බර් 12) දිනයට සාපේක්ෂව එය ඒකක 8.55 ක් එනම් -0.14%ක පහළ යාමක් පෙන්නුම් කර ඇත.

පෙර සිදු කළ සාකච්ඡාවකට අනුව සම්පත් බැංකුව සහ ඩිප්ඩ් ප්‍රඩක්ට්ස් පීඑල්සී සිදු කළ ගනුදෙනු අද පිරිවැටුමෙන් 5%ක් සඳහා දායකත්වයක් ලබා දී තිබේ.

එසේම අද දිනයේ සිදු වූ සමස්ත ගනුදෙනු අතර සමාගම් 90ක මිල ගණන් ඉහළ ගිය අතර, සමාගම් 82ක මිල ගණන් පහළ යාම සිදු විය.

මෙහිදී සමස්ත කොටස් මිල දර්ශකයේ විචලනය සඳහා වැඩිම දායකත්වය සැපයූ සමාගම් වූයේ එල්ඕඑල්සී පීඑල්සී LOLC (+3.38), වටවල ප්ලාන්ටේෂන්න්ස් පීඑල්සී WATA (+2.00), හේමාස් හෝල්ඩිංග්ස් පීඑල්සී HHL (+1.91),  ආසිරි හොස්පිටල්ස් පීඑල්සී ASIR (+1.3), හැටන් නැෂනල්  බැංකුව HNB (+0.94),  කාර්සන්ස් කුම්බර්බැච් පීඑල්සී CARS (-4.32), ඩිස්ලිටරීස් කම්පැනි ඔෆ් ශ්‍රී ලංකා පීඑල්සී DIST (-2.11), ඩයලොග් ආසිආටා පීඑල්සී DIAL (-1.87),  රිචර්ඩ් පීරිස් කම්පැනි පීඑල්සී RICH (-1.87) සහ එල්ඕඑල්සී ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් පීඑල්සී NIFL (-1.58) යනාදී සමාගම්ය.

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් දවසේ ගනුදෙනු නිමාවේදී ඒකක 2,401.37 ක අගයක් ගත් අතර, එය ඊයේ (නොවැම්බර් 12) දිනයට සාපේක්ෂව ඒකක 2.20 ක එනම් -0.09%ක පහළ යාමකි.

මෙහිදී දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 1.93ක් ලෙස සටහන්ව තිබූ අතර, එය ඊයේ (නොවැ 12දා) වාර්තා කළ රුපියල් බිලියන 1.57ට සාපේක්ෂව 23%ක පහළ යාමකි. එහිදී විදේශීය ආයෝජකයන් තවදුරටත් දිනයේ වැඩිම අලෙවිකරුවන් පිරිසක් බවට පත් විය.

ඒ අනුව මේ තත්ත්වයත් සමගම දිනයේ සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 2.65ක අගයකට පත්ව ඇති අතර එය මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අද දිනය දක්වා 6.98%ක අලාභයක් ලෙස සටහන්ව තිබේ.

මේ අතර, දිනයේ සමස්ත විදේශීය මිලදී ගැනීම්වල වටිනාකම රුපියල් මිලියන 21.4ක් ලෙස සටහන් විය. එසේම සමස්ත විදෙස් විකුණුම් රුපියල් මිලියන 154.2 ක අගයක් ගෙන තිබේ.

දිනයේ දළ විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 132.8 කි. ඒ අනුව වසරේ ආරම්භයේ සිට මේ දක්වා සමස්ත විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් බිලියන 47.62ක් ලෙස සටහන්ව තිබේ.

මෙහිදී මිලදී ගැනීම් යටතේ වැඩිම දායකත්වය ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී විසින් ලබා දී ඇති අතර, එම ආයෝජන ගලාඒම්හි වටිනාකම රුපියල් මිලියන 47.62කි. එසේම හේමාස් හෝල්ඩිංග්ස් පීඑල්සී විකුණුම් යටතේ වැඩිම දායකත්වයක් ලබා දුන් අතර ඒ හරහා සිදුවූ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 6.39ක් ලෙස සටහන්ව ඇත.

මේ අතර දිනයේ සමස්ත පිරිවැටුමෙන් රුපියල් මිලියන 493ක් සඳහා නිෂ්පාදන අමුද්‍රව්‍ය අංශය දායකත්වය ලබා දී ඇති අතර, එය ප්‍රතිශතයක් ලෙස 25% ක අගයක් ගෙන තිබේ. එසේම බැංකු සහ ප්‍රාග්ධන භාණ්ඩ අංශය දෙවැනි සහ තෙවැනි ස්ථාන බවට පත්වෙමින් පිළිවෙලින් රුපියල් මිලියන 374ක සහ රුපියල් මිලියන 352ක දායකත්වයක් දිනයේ පිරිවැටුම සඳහා ලබා දී ඇත.

Visits: 126