කොළඹ වරාය නගරයෙන් මෙතෙක් COVID-19 ආසාදිතයෙක් හමු වී නෑලු

කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ කටයුතු දෛනිකව ක‍්‍රියාත්මක වීම ආරම්භ වූ දා සිටම, ව්‍යාපෘතියට එක්වීමට පෙර සියලූම කාර්ය මණ්ඩල සාමාජිකයන් PC R පරීක්ෂණ වලට ලක්කරන ලද බවත්, අඛණ්ඩව අහඹු පරීක්ෂණද සිදුකරන ලද නමුත් මේ දක්වා එම පරීක්ෂණ වලින් කිසිදු ආසාදිතයෙකු වාර්තා නොවී ඇතැයි පෝර්ට් සිටි කලම්බු සමාගම පවසයි.

කෙසේ වෙතත් කොළඹ 13 කොටහේන ප‍්‍රදේශයේ ක‍්‍රියාත්මක CHEC ව්‍යාපෘතියක සේවය කරන අතරතුර කොළඹ පොර්ට් සිටි ඉදිකිරීම් පරිශ‍්‍රයේ පිහිටි නවාතැන් ස්ථාන වලින් එකක තාවකාලිකව නවාතැන්ගෙන සිටි ශ‍්‍රී ලාංකික සේවකයන් දෙදෙනෙකුට සහ චීන ජාතික සේවකයන් සිව් දෙනෙකුට COVID-19 රෝගය වැළඳී ඇති බව තහවුරු වී ඇති බව එම සමාගම නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

එම නිවේදනය මෙසේය,

“අපගේ සමස්ත කාර්ය මණ්ඩලය පරීක්ෂාවන්ට භාජනය කිරීමේදී මෙම පුද්ගලයන්ට රෝගය ආසාදනය වී ඇති බව හඳුනාගන්නා ලදි. අදාළ නවාතැන් මධ්‍යස්ථානය භාවිතා කරන ලද්දේ අදාළ ව්‍යාපෘතියේ සේවය කරන්නන් විසින් පමණක් වන අතර, එම පුද්ගලයන් කොළඹ වරාය නගරය ව්‍යාපෘතියේ සේවය කරන්නන් නොවේ. එමෙන්ම එම පුද්ගලයන් කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ කටයුතුහෝ එහි සේවකයන් සමග කිසිදු සම්බන්ධතාවක් පවත්වා නොමැත.

මෙම ආසාදිතයන් වාර්තා වීමත් සමග, අදාළ නවාතැන් ස්ථානය හුදෙකලා කරන ලද අතර ඊට ඇතුළු වීම හා ඉන් පිටවීම සීමා කරන ලදි. මෙවැනි අවස්ථා සම්බන්ධයෙන් දැනට පවතින මාර්ගෝපදේශ අනුව පරිශ‍්‍රයේ නවාතැන් හා අනෙකුත් ස්ථාන විෂබීජහරණය කෙරිණි.

පසුගිය මාර්තු මාසයේදී ශ‍්‍රී ලංකාව තුළ මුලින්ම COVID-19 ආසාදිතයන් වාර්තා වූ අවස්ථාවේ සිටම රජයේ මාර්ගෝපදේශ වලට අනුකූලව, හැකි අයුරින් ඉදිකිරීම් කටයුතු අඛණ්ඩව සිදුකරන අතරම රෝගය පැතිරීමේ ඉඩකඩ අවම කිරීම සඳහා දැඩි ක‍්‍රියාමාර්ග ගැනීමට පොර්ට් සිටි සමාගම පියවර ගෙන තිබේ.

තාවකාලික නවාතැන් ස්ථාන වල සිට සේවකයන් ඉදිකිරීම් පරිශ‍්‍ර වෙත ප‍්‍රවාහනය කිරීම සඳහා විශේෂ ප‍්‍රවාහන විධිවිධාන යෙදීම වැනි ක‍්‍රම ඔස්සේ, බාහිර සේවකයන් හා පෝර්ට් සිටි කාර්ය මණ්ඩලය අතර සම්බන්ධතා ඇතිවීමේ ඉඩකඩ අවම කෙරිණි.

තත්ත්වය සමීපව නිරීක්ෂණය කරමින්, අවශ්‍ය පරිදි හා හැකි ඉක්මනින් ජනතාව දැනුවත් කිරීමට කොළඹ වරාය නගර ව්‍යාපෘතිය අපේක්ෂා කරයි. වෛරසය පැතිරීම පාලනය කිරීමට හැකි සෑම පියවරක්ම ගන්නා අතර, ශ‍්‍රී ලංකා රජය, ජනාධිපති ලේකම් කාර්යාලය, සෞඛ්‍ය බලධාරීන්, ඉදිරිපෙළ කාර්ය මණ්ඩල සහ අනෙකුත් සියලූම පාර්ශ්වයන්විසින් ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් ගනු ලබන සියලූම පියවර සඳහා චෙක් පෝර්ට් සිටි කලම්බු සමාගමහැකි උපරිමයෙන් සහයෝගය ලබාදෙනු ඇත.”

Visits: 61