සොෆ්ට්ලොජික් කැපිටල් පීඑල්සී හිමිකම් කොටස් නිකුතුව අද සිට

සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගමේ පරිපාලිත සමාගමක් වන සොෆ්ට්ලොජික් කැපිටල් පීඑල්සී මගින් සිදු කරන හිමිකම් කොටස් නිකුතුව අද (12දා) දිනයේදී ආරම්භ කෙරෙන බව එම සමාගම පවසයි. ලබන නොවැම්බර් 20 වැනිදා දක්වා මෙම හිමිකම් කොටස් මිලදී ගැනීම සඳහා අයැදුම් පත් ඉදිරිපත් කළ හැකි බව, මේ සම්බන්ධයෙන් එම සමාගම සිය කොටස් හිමිකරුවන් වෙත නිවේදනයක් නිකුත් කරමින් සමාගම සඳහන් කරයි.

ඒ අනුව 2020 අගෝස්තු 17 වැනිදා සමාගම සිදු කළ සඳහන් කිරීමට අනුව, මෙම හිමිකම් නිකුතුවේදී සොෆ්ට්ලොජික් කැපිටල් පීඑල්සී සමාගමේ නව සාමාන්‍ය කොටස් මිලියන 289ක් (289,027,200ක්) නිකුත් කිරීමට නියමිතව ඇත. එහිදී දැනට සාමාන්‍ය කොටස් හිමිකම සහිත කොටස්හිමිකරුවන්ගේ සෑම කොටස් 50ක් වෙතම අලුතින් කොටස් 21ක් ලෙස වන අනුපාතයකට මෙම නිකුත් කිරීම සිදු කෙරෙන බව පැවසෙයි. නිකුත් කෙරෙන මෙම එක් කොටසක වටිනාකම රුපියල් 3.50 කි.

විශේෂයෙන්ම බස්නාහිර පළාත වෙත රජය විසින් පනවා ඇති නිරෝධායන ඇඳිරිනීතිය ඇතුළු සීමා කිරීම් හේතුවෙන් මධ්‍යම තැපැල් හුවමාරුවේ කටයුතු සීමා සහිතවීමත් සමගින්ම මෙම කොටස් බෙදා දීම ඇතුළත් ලිපි කොටස් හිමිකරුවන් වෙත තැපෑලෙන් යැවීමේ අපහසුතාව හේතුවෙන් මෙම නිකුතුව අන්තර්ජාලය හරහා සිදු කෙරෙන බවද සමාගම පවසයි.

ඒ අනුව කොළඹ කොටස් හුවමාරුවේද සහයෝගය සහිතව පසුගිය ඔක්තෝබර් 29 වැනිදා දිනයේ ගනුදෙනු නිමාවේදී ලියාපදිංචිවී සිටි කොටස්හිමිකරුවන් මෙම කොටස් මිලදී ගැනීම සඳහා සුදුසුකම් සහිත කොටස්හිමිකරුවන් ලෙස හඳුනාගත් බවත් ඔවුන් වෙත පහසුකම් සැලසීමට සමාගම පියවර ගෙන ඇති බවත් පවසයි. ඒ අනුව එම කොටස්හිමිකරුවන්ගේ සීඩීඑස් ගිණුම් හරහා ඉල්ලුම් කිරීමේ අවස්ථාවක් ලබා දී තිබේ. එසේත් නැත්නම් සීඩීඑස් ගිණුම්හිමිකරුවන් නොවන පිරිස් වෙත www.softlogiccapital.lk වෙබ් අඩවිය හරහා මෙම ඉල්ලුම් පත්‍ර ඩවුන්ලෝඩ් කරගැනීමේ අවස්ථාව  පවතින බවත් සමාගම සඳහන් කරයි.

එසේම මෙම සොෆ්ට්ලොජික් කැපිටල් පීඑල්සී හිමිකම් කොටස් නිකුතුව පිළිබඳ සීඩීඑස් ගිණුම් හිමිකරුවන් නොවන පිරිස් වෙත දැනගැනීමට අවශ්‍ය ඕනෑම කරුණක් අද දිනයේ සිට %සොෆ්ට්ලොජික් කෝපරේට් සර්විසස් (පෞද්) සමාගමේ දුරකතන අංක 0778337636, 0776634433, 0766391014 සහ 0773601682 යන දුරකතන අංක හරහා දැන ගත  හැකි බවත් සමාගම වැඩිදුරටත් පවසා සිටියි.

Visits: 312