ලැයිස්තුගතවීම් ඉහළ නැංවීමට කොළඹ කොටස් හුවමාරුවෙන් පියවර රැසක්

කොළඹ කොටස් හුවමාරුව තුළ ලැයිස්තුගතවන සමාගම් සංඛ්‍යාව ඉහළ නැංවීම සඳහා පියවර රැසක් ගැනීමට කටයුතු යොදා තිබෙන බව කොළඹ කොටස්  හුවමාරුව  පවසයි. එහිදී යම් සමාගමක් කොළඹ කොටස්  හුවමාරුව තුළ ලැයිස්තුගත කිරීමේ ක්‍රියාපටිපාටියට අදාළ වන ප්‍රධාන කරුණු සඳහා පිළිතුරු ලබා දෙන ක්‍රියාකාරී සැලසුමක් කොටස් හුවමාරුව මගින් දියත් කර ඇතැයිද සඳහන් කරයි.

එහිදී රාජ්‍ය මෙන්ම පෞද්ගලික අංශයට අයත් සමාගම් සතු අරමුදල් සම්පාදනයේ අවශ්‍යතාව වෙනුවෙන් වඩාත් කාර්යක්ෂම සේවාවක් ලබාදීම අරමුණ බවත්, ඒ සඳහා එම ලැයිස්තුගතවීමේ ක්‍රියාපටිපාටිය වඩාත් සරල කිරීමත්, අනවශ්‍ය අනුමත කිරීමේ පියවර ඉවත් කිරීමත්, ලේඛනගත කිරීම් අඩු කිරීම් ඇතුළු ක්‍රම යොදා ගැනීමට කටයුතු යොදන බවත් කොළඹ කොටස් හුවමාරුව පෙන්වා දෙයි.

ඒ අනුව සමාගම් වෙත මෙම ලැයිස්තුගතවීම් සම්බන්ධයෙන් පුළුල් තෝරාගැනීමක් සඳහා අවස්ථාව ලබා දෙමින් ලැයිස්තුගත කිරීමේ උපමාන වෙනස් කිරීම සඳහා අවශ්‍ය පිළිවෙත් දැනටමත් ගෙන ඇතැයිද, තවදුරටත් මෙම ලැයිස්තුගතවීමේ රෙගුලාසි සංශෝධනය කරමින් ලැයිස්තුගතවීමේ ක්‍රියාවලිය වඩාත් සරල කරමින් කොළඹ කොටස් හුවමාරුවේ අභ්‍යන්තර සැකැස්මේ සිදු කරන වෙනස්කම් හරහා එම කටයුතු වඩාත් සුමට කිරීම අරමුණ බවත් කොළඹ කොටස් හුවමාරුව පවසයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන කොළඹ කොටස්  හුවමාරුවේ සභාපති දුමිත් ප්‍රනාන්දු මහතා, “කොටස් හුවමාරුව තුළ දැනට ලැයිස්තුගතවී තිබෙන සමාගම් සංඛ්‍යාව ඉහළ නැංවීම කොළඹ කොටස්  හුවමාරුවේ උපායමාර්ගික අරමුණු අතර ප්‍රධානම දෙයක්. මේ සම්බන්ධයෙන් අපි වඩාත් හොඳ දියුණුවක් ලබා ගත යුතුයි. මේ ව්‍යපාර කොවිඩ්-19 වසංගතයෙන් පසු තත්ත්වයට පිවිසෙද්දී, අරමුදල් සම්පාදනය මූලික ප්‍රමුඛතාවක් වෙනවා. එතැනදී සමාගම් සතු එකිනෙකට වෙනස් අරමුදල් අවශ්‍යතාවන් වෙනුවෙන් පවතින වඩාත් හොඳ ක්‍රම අප සතුව පවතිනවා.” යනුවෙන් පවසා සිටියි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වන සභාපතිවරයා, “අපි අද වනවිට ලංකාවේ සෑම ව්‍යාපාරයකම අවශ්‍යතාවන් වෙනුවෙන් ගැලපෙන ක්‍රමවේද සහ ක්‍රියාපිළිවෙත් අනුගමනය කරනවා. ඒ හරහා සමාගම් වෙත ඔවුන්ගේ අවශ්‍යතාවන් සපුරා දීම සඳහා අප සූදානමින් සිටිනවා. ඒ වගේම කොළඹ කොටස් හුවමාරුව මෙම ලැයිස්තුගත කිරීමේ ක්‍රියා පිළිවෙත වඩාත් සරල කිරීම තුළින් මීට වඩා වැඩි සමාගම් ප්‍රමාණයක් කොටස් හුවමාරුව හරහා සිය ප්‍රාග්ධනය ඉහළ නංවා ගැනීම සඳහා ආකර්ෂණය කරගැනීමට හැකියාව ලැබෙනු ඇතැයි අපි විශ්වාස කර සිටිනවා.” යනුවෙන්ද පවසා සිටියි.

එසේම මෙම සමස්ත ලැයිස්තුගත කිරීමේ ක්‍රියාවලියේ සිදු විය යුතු ඉදිරි දියුණුවීම් සම්බන්ධයෙන් දැනටමත් කොළඹ කොටස්  හුවමාරුව සමගින් සම්බන්ධව සිටින පාර්ශ්වයන්ගෙන් ප්‍රතිපෝෂණයක් ලබා ගැනීමටත් කටයුතු යොදා ඇතැයිද සභාපතිවරයා වැඩිදුරත් සඳහන් කරයි. අද වන විට කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්ගුතව සිටින සමස්ත සමාගම් සංඛ්‍යාව 285 කි.

මෙහිදී කොළඹ කොටස් හුවමාරුවේ නව වැඩිදියුණු කිරීමේ සැලසුම් යටතේ ලේඛන භාවිතය අඩු කිරීම මෙන්ම ඉදිරිපත් කළ යුතු ඇතැම් සංස්ථා ප්‍රකාශ යනාදිය ඉවත් කිරීමත් දැක්විය හැකිය. එසේම මේ යටතේ පවතින ද්විත්ව අනුමැති ක්‍රියාවලිය සම්බන්ධයෙන්ද දැනටමත් සිය නියාමකයා වන සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව සමගින් සාකච්ඡා පවත්වමින් සිටින බවත් කොළඹ කොටස් හුවමාරුව පවසයි.

මේ අතර කොළඹ කොටස් හුවමාරුව සිදු කරන තවත් කැපී පෙනෙන වෙනස් කමක් ලෙස ලැයිස්තුගතවීම සඳහා එකතු විය හැකි අපේක්ෂිත සමාගම් පිළිබඳව හඳුනාගත  හැකි ලෙස පිහිටුවා ඇති ‘තනි කවුළුවේ’ පාරිභෝගික සබඳතා ඒකකය හැඳින්විය හැකිය. එහිදී මෙවැනි සමාගම් සමගින් එකතු වී  මෙම ලැයිස්ගතවීමේ ක්‍රියාවලිය සඳහා ඔවුන්ට සහයෝගය දැක්වීම මේ හරහා සිදු වෙයි. ඒ අනුව සමාගම් වෙත සහ ඔවුන්ගේ උපදේශකයන් වෙත මෙම ලැයිස්තුගතවීමේදී තමන්ට මුහුණ දීමට සිදුවන ගැටලු සම්බන්ධයෙන් තනි සම්බන්ධවීමක් හරහා අවබෝධය ගැනීමටත් ඒවාට පිළිතුරු සපයා ගැනීමටත්  හැකියාව ලැබෙනු ඇතැයිද සඳහන් වෙයි.

එසේම මෙම ලැයිස්ගුතවීමේ වැඩපිළිවෙල තවදුරටත් විනිවිදභාවයකින්  යුක්තව සිදු කිරීමටත් කටයුතු කරන බවද කොළඹ කොටස් හුවමාරුව  පවසයි. එහිදී එම හුවමාරුව වෙත සමාගමක් මගින් භාරදී ඇති ලැයිස්ගුතක කිරීමේ අයැදුම්පත්‍රයක ඉදිරි පියවර පිළිබඳ තොරතුරු අන්තර්ජාලය හරහා දැනගත හැකි ක්‍රමවේදයක්ද ඉදිරියේදී හඳුන්වාදීමට නියමිතව තිබේ.

ඒ හරහා මෙම ඉල්ලුම්කරුවන්ට තමන්ගේ අයැදුම් පත්‍රය සම්බන්ධව දැනට පවතින තත්ත්වය පිළිබඳව වඩාත් විනිවිදභාවයෙන් තොරතුරු දැනගත හැකි වනු ඇති බවත්, එම කටයුත්තට අදාළ පියවරයන් සම්බන්ධයෙන් මූලික වගකීම් දරන්නේ කවර පාර්ශ්වයක්ද යන්න පිළිබඳව තේරුම් ගත හැකි වනු ඇති බවත් සඳහන් වෙයි.

මීට අමතරව දැනට ලැයිස්ගුගතවී සිටින ලොකු කුඩා ඕනෑම සමාගමක් වෙතම සිය කොටස් හෝ ණයකර හරහා අරමුදල් රැස්කර ගැනීමේ අවස්ථාව කොළඹ කොටස් හුවමාරුව මගින් උදා කර දී තිබේ. එහිදී ප්‍රධාන පුවරුව, දිරි සවි පුවරුව සහ එම්පවර් යන පුවරු තුළ ලැයිස්තුගත වී සිටින විශාල ප්‍රමාණයේ සමාගම්හි සිට කුඩා හා මධ්‍ය පරිමාණ සමාගම් දක්වා එම අවස්ථාව පවතින බවත් කොළඹ කොටස් හුවමාරුව වැඩිදුරටත් සඳහන් කර සිටියි.

Visits: 431