DFCC බැංකු CEO ලක්ෂ්මන් ද සිල්වා ශ්‍රී ලංකා බැංකු සංගමයේ සභාපති ධුරයට

ශ්‍රී ලංකා බැංකු සංගමයේ (Sri Lanka Bank’s Association) නව සභාපතිවරයා ලෙස DFCC බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී ලක්ෂ්මන් ද සිල්වා මහතා තේරී පත්ව ඇතැයි එම සංගමය පවසයි. පසුගියදා කොළඹදී පැවැත්වුණු එම සංගමයේ වාර්ෂික මහා සභා රැස්වීමේදී මෙම නව පත් කිරිම සිදුව තිබේ.

2019/2020 වසර සඳහා සභාපති ධුරය දැරූ NDB බැංකුවේ සමූහ ප්‍රධාන විධායක නිලධාරී දිමන්ත සෙනෙවිරත්න මහතාගේ ඉවත්වීමෙන් පුරප්පාඩු වන ධුරය සඳහා සිල්වා මහතා පත් කෙරී ඇත.

DFCC බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී ලක්ෂ්මන් ද සිල්වා මහතා බැංකු ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙකු වන අතර මූල්‍ය සේවා සහ බැංකු කර්මාන්තය තුළ වසර 30කට අධික අත්දැකීම් ඒ මහතා සතුව පවතී. විශේෂයෙන්ම DFCC බැංකුව ඉහළ මට්ටමේ බැංකුවක් බවට පත් කිරීමටද සිල්වා මහතා සිය දායකත්ය ලබා දී ඇත. ඒ මහතා DFCC බැංකු සමූහය සමගින් එකතු වී ඇත්තේ 1987 වසරේදීය.  

මෙම වාර්ෂික මහා සභා රැස්වීමේදී සිදු කරන ලද නව පත් කිරීම් අනුව ඉදිරි වසර සඳහා එම සංගමයේ උප සභාපතිවරුන් ලෙස ලංකා බැංකුවේ සාමාන්‍යාධිකාරී ඩී.පී.කේ. ගුණසේකර සහ ඉන්දියානු බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී බෂීර් අහ්මඩ් යන මහත්වරුන් නම් කෙරී තිබේ.

මීට අමතරව ඉදිරි වසර සඳහා එහි අනෙකුත් සාමාජිකයන් ලෙස ජොනතන් අලස් (එච්එන්බී බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී, කපිල ආරියරත්න (සෙලාන් බැංකු ප්‍රධාන විධායක නිලධාරී), බිගුමාල් තෙවරතන්ත්‍රී (ස්ටෑන්ඩර්ඩ් චාර්ටර්ඩ් බැංකු ප්‍රධාන විධායක නිලධාරී), වජීඩ් අලි ෂාහ් (හබීබ් බැංකුවේ කලාපීය සාමාන්‍යාධිකාරී), අජිත් පීරිස් (ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ සාමාන්‍යාධිකාරී) සහ ලේකම්වරයා ලෙස රවී ද සිල්වා මහතා පත් කෙරී ඇත.

Visits: 196