තේරී පත් වූ ජනපති බයිඩන්ගේ පළමු පත් කිරීමත් ඉන්දියානු-ඇමෙරිකානුවෙකුට

ඇමෙරිකා එක්සත් ජනපදයේ මීළග ජනපතිවරයා ලෙස තේරී පත්ව සිටින ජෝ බයිඩන් සිය කොරෝනා මර්ධන කාර්ය සාධක බලකායේ සම ප්‍රධානී ධුරයක් සඳහා එක්සත් ජනපදයේ මහජන සෞඛ්‍ය සේවා බලඇණියේ හිටපු ප්‍රධානී (Surgeon General) වරයෙකු වන විවේක් මූර්ති පත් කර ඇතැයි වාර්තා වෙයි. මෙය ජෝ බයිඩන් තේරී පත් වූ ජනපතිවරයා බවට පත්වීමෙන් අනතුරුව සිදු කළ පළමු පත් කිරීමද වෙයි.

මූර්ති විවේක් ඉන්දියානු සම්භවයක් සහිත පුද්ගලයෙකු වන අතර, ඔහුගේ උපන්බිම දකුණු ඉන්දියාවේ කර්නාටක ප්‍රාන්තයේ මන්ද්‍යා දිස්ත්‍රික්කය බව පැවසෙයි. එසේම ඔහු බයිඩන්ගේ ප්‍රධානතම ඉන්දියානු-ඇමෙරිකානු උපදේශකයන් දෙදෙනකුගෙන් එක් අයෙකුද ලෙස සැලකෙයි.

2014-2017 කාලසීමාවේදී ඔහු එක්සත් ජනපද Surgeon General ධුරයට පත්වන විට වයස අවුරුදු 37ක් විය. එරට තුළ එම ධුරයට පත් වූ ලාබාලතම තැනැත්තාද ඔහුය. හිටපු ජනපති ඔබමා විසින් සිදු කරන ලද මෙම පත් කිරීම ජනපති ට්‍රම්ප් විසින් ඉවත් කර තිබේ.

මෙම කාර්ය සාධක බලකායේ අනෙක් ප්‍රධානීන් වන්නේ එක්සත් ජනපදයේ හිටපු ආහාර හා ඖෂධ පරිපාලන කොමසාරිස්වරයෙකු වන ඩේවිඩ් කෙස්ලෙර් සහ යේල් විශ්වවිද්‍යාලයේ ආචාර්ය මාර්සෙලා නුනෙස්-ස්මිත් යන දෙපළයි.

ඩේවිඩ් කෙස්ලෙර් මාධ්‍ය වෙත පවසා ඇති ආකාරයට ඔහු සහ විවේක් මූර්ති එක්ව දිනපතාම හෝ සතියකට සිව් වතාවක් එම නව කොරෝනා කාර්ය සාධක බලකායේ මාධ්‍ය හමුවක් පැවැත්වීමටද සූදානමින් සිටියි.

ඒ අනුව මෙම පත් කිරීම ජෝ බයිඩන් සතු ඉන්දියානු-ඇමෙරිකානුවන්ට සැලකීමේ තවත් එක් අවස්ථාවක් බවට පත්ව තිබේ. ජෝ බයිඩන්ගේ උප ජනාධිපතිනිය ලෙස තේරී පත් වී ඇත්තේද ඉන්දියානු-ඇමෙරිකානු සම්බවයක් සහිත කමලා හැරිස්ය.

Visits: 104