ජෝර්ජ් ස්ටුවර්ට් හෙල්ත් මගින් COVID-19 රැපිඩ් ටෙස්ට් කිට් පුහුණු වැඩසටහන් පවත්වයි

කොවිඩ්-19 වෛරස ආසාදිතයන් පිළිබඳව කෙටි කලකින්ම හඳුනාගත හැකි ලෙස සිදු කරන COVID-19 ඇන්ටිජෙන් රැපිඩ් ඩයග්නොස්ටික් ටෙස්ට් කිට්ස් (Covid-19 antigen rapid diagnostic test kits) මගින් අදාළ පරීක්ෂාවන් සිදු කරන ආකාරය පිළිබඳ පුහුණු වැඩසටහනක් පසුගියදා සෞඛ්‍ය අමාත්‍යාංයේදී පැවැත් වූ බව ජෝර්ජ් ස්ටුවර්ට් හෙල්ත් සමාගම පවසයි.  

මෙහිදී අදාළ වැඩසටහන මෙහෙයවීම ඇබොට් රැපිඩ් ඩයග්නොස්ටික්ස් (APAC) හි වෛද්‍ය සහ විද්‍යාත්මක කටයුතු අධ්‍යක්ෂක මොහාන් රාවුරු මහතා විසින් සිදු කර තිබේ. ඒ මහතා මෙම ක්ෂේත්‍රය සම්බන්ධයෙන් වසර 15කට අධික අත්දැකීම් සහිත වෛද්‍ය පර්යේෂකයෙකු අයෙකු බවත් ජෝර්ජ් ස්ටුවර්ට් හෙල්ත් සමාගම පවසයි.

වෛද්‍යවරුන්, වෛරසවේදීන්, ක්ෂුද්‍රජීවීවිද්‍යාඥයන් සහ වසංගතවේදීන් ඇතුළු 40කට ආසන්න පිරිසක් මෙම වැඩසටහන සඳහා සම්බන්ධ වී ඇත. මෙහිදී අන්තර්ජාලය හරහා පැවැති පුහුණු වැඩසටහනක් ලෙස මෙය සංවිධානය වී තිබේ.

මෙම අවස්ථාව සඳහා රසායනාගාර සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය සමන් රත්නායක, රසායනාගාර සේවා අධ්‍යක්ෂ වෛද්‍ය විජිත් ගුණසේකර, වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය කේ වික්‍රමණායක, කාසල් වීදියේ කාන්තා රෝහලේ ගුණාත්මකබව සහ සුරක්ෂාව පිළිබඳ අධ්‍යක්ෂ වෛද්‍ය සුදග් ධර්මරත්න සහ ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති මහාචාර්ය ඉන්දික කරුණාතිලක යන මහත්වරුන් ඇතුළු සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජිතයෝ පිරිසක් සහභාගි වී තිබේ.

මෙලෙස කරන COVID-19 ඇන්ටිජෙන් රැපිඩ් ඩයග්නොස්ටික් ටෙස්ට් කිට්ස් සම්බන්ධ පුහුණු අධ්‍යාපන වැඩසටහන් තවදුරටත් සිදු කිරීම අරමුණ බවත්, ඒ හරහා මෙම  වසංගතයට එරෙහි සටන සඳහා වෛද්‍යවරුන්ගේ දැනුම ඉහළ නැංවීම අපේක්ෂාව බවත් ජෝර්ජ් ස්ටුවර්ට් හෙල්ත් සමාගම වැඩිදුරටත් සඳහන් කරයි.

මෙම COVID-19 ඇන්ටිජෙන් රැපිඩ් ඩයග්නොස්ටික් ටෙස්ට් කිට්ස් තොගයේ පළමු කොටස පසුගියදා දකුණු කොරියාවෙ සිට මෙරටට රැගෙන ඒම සිදු විය. ජෝජ්ජ් ස්ටුවර්ට් හෙල්ත් සමාගමේ මැදිහත්වීමෙන් සිදුවූ මේ කටයුත්ත සඳහා ශ්‍රී ලංකන් ගුවන් සේවයද සිය දායකත්වය සපයා දී තිබේ.

ලෝක සෞඛ්‍ය සංවිධානය මගින්ද අනුමත කර ඇති මෙම COVID-19 ඇන්ටිජෙන් රැපිඩ් ඩයග්නොස්ටික් ටෙස්ට් කිට්ස් පරීක්ෂාව මගින් ඉතාමත් කෙටි කලකින් පුද්ගලයෙකුගේ කොවිඩ්-19 ආසාදිත බව හඳුනාගත හැකිය. ඒ හරහා මෙම වෛරසය තවදුරටත් සම්ප්‍රේෂණයවීමේ දාමය ඉක්මණින්ම බිඳ හෙළීමේ අවස්ථාව පවතින බව වෛද්‍ය අංශ පවසයි.

නුදුරේදීම මෙම COVID-19 රැපිඩ් ටෙස්ට් කිට් පරීක්ෂාවන් මෙරට තුළ ආරම්භ කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සැලසුම් කර තිබේ.

Visits: 194