බොඩිලයින් මේ දක්වා කාර්ය මණ්ඩලයේ පීසීආර් 2820ක් සිදු කරලා

MAS සමූහයට අයත් බොඩිලයින් කර්මාන්තශාලා තුන තුළ මේ දක්වා පීසීආර් පරීක්ෂණ 2820ක් සිදු කර ඇතැයි එම බොඩිලයින් සමාගම නිවේදනයක් මගින් සඳහන් කරයි. සෞඛ්‍ය අමාත්‍යාංශය සමග එක්වී මෙම පරීක්ෂණ සිදු කර තිබේ.

ඒ අනුව මෙම පරීක්ෂණවලදී එම කර්මාන්තශාලා දෙකකින් ආසාදිතයන් 69 දෙනෙකු  හමු වී ඇති බවත්, 969 දෙනෙකු ආසාදිතයන් නොවන බවත් තහවුරු වී තිබේ. එසේම තවත් පරීක්ෂණ 1760ක ප්‍රතිඵල ලැබීමට නියමිත බවත් සමාගම පවසයි. මීට අමතරව පරීක්ෂණ 12කින් නිශ්චිත නොවන ප්‍රතිඵල ලැබී තිබේ.

මේ අතරින් ආසාදිතයන් 68 දෙනෙකු හොරණ කර්මාන්තශාලාවේදීද,  අනෙක් ආසාදිතයා අගලවත්ත බොඩිලයින් කර්මාන්තශාලාවේදීද හමුව තිබේ. සිය සමාගම සාමාජික සාමාජිකයන් වෙනුවෙන් දැඩි සෞඛ්‍යාරක්ෂිත ක්‍රියාමාර්ග ගෙන තිබියදී පවා කණගාටුදායක ලෙස මෙම ආසාදිතයන් වාර්තා වී ඇතැයිද සමාගම පවසයි. ඒ අනුව ඔක්තෝබර් 31 වැනිදා සිට මෙම කර්මාන්තශාලාව වසා දමා ඇතැයි සමාගම සඳහන් කරයි.

“මෙම සෑම අවස්ථාවකදීම අපි වහාම ක්‍රියාත්මක වී, අදාළ කර්මාන්තශාලා වසා දැමීමටත්, ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් හඳුනාගැනීමටත්, රජයේ සෞඛ්‍ය  බලධාරීන් සමග එක් වී කාර්යක්ෂම ලෙස පීසීආර් පරීක්ෂණ සිදු කිරිමටත් පියවර ගත්තෙමු.” යනුවෙන් සමාගම සඳහන් කරයි.

බොඩිලයින් සමාගම ඉදිරිපත් කර ඇති නිවේදනයකට අනුව ඔක්තෝබර් 31 වැනිදා සිට නොවැම්බර් 04 වැනිදා දක්වා බොඩිලයින් හොරණ සහ බොඩිලයින් අගලවත්ත යන කර්මාන්ත ශාලා තුළ මෙම පීසීආර් පරීක්ෂණ සිදු කර තිබේ. එහිදී අනුමත පෞද්ගලික රොහලක් හරහා බොඩිලයින් හොරණ කර්මාන්තශාලාවේ සේවකයන් 1177 කගේ පීසීආර් පරීක්ෂණ සිදු කර ඇත.

එසේම බොඩිලයින් අගලවත්ත කර්මාන්තශාලාව තුළ එක් සේවකයෙකු සහ බාහිර සේවා සපයන්නෙකුගේ සේවකයන් දෙදෙනකු ඇතුළු තිදෙනෙකු ආසාදිතයන් ලෙස වාර්තා වී තිබේ. ඒ අනුව පසුගිය නොවැම්බර් 04 වැනිදා සිට එම කර්මාන්තශාලාවද වසා දැමීමට තීරණය කර ඇත.

“මෙම කර්මාන්තශාලා දෙක පූර්ණ වශයෙන් විෂබීජහරණය කිරීමෙන් අනතුරුව සහ සෞඛ්‍ය බලධාරීන්ගේ අවසරය ලැබුණු පසු ඒවායේ මෙහෙයුම් කටයුතු නැවත ආරම්භ කෙරෙනු ඇත.” සමාගම පවසයි.

මේ අතර වෛරසය වැළැදී ඇති සාමාජික සාමාජිකාවන්ට ඔවුන්ට රැකියාවට නොපැමිණෙන කාලය සඳහාද කිසිදු අඩු කිරීමකින් තොරව වැටුප් ගෙවන බවත් බොඩිලයින් සමාගම පවසයි. එමෙන්ම අදාළ සාමාජික සාමාජිකාවන්ගේ පවුල්වලට අත්වැලක් වීම සඳහා වියළි ආහාර ද්‍රව්‍ය හා වෙනත් අත්‍යවශ්‍ය භාණ්ඩ ලබාදීමටද කටයුතු යොදා තිබේ.

“රෝගය වැළැදී ඇති අපගේ සාමාජික සාමාජිකාවන්ට හැකි උපරිම මට්ටමින් ප්‍රතිකාර ලබා දීම සඳහා ප්‍රතිකාර මධ්‍යස්ථාන දෙකක් ස්ථාපිත කිරීමට අනුමැතිය ලබා ගෙන ඇත. මේ සඳහා බොඩිලයින් සමාගම පූර්ණ වශයෙන් ප්‍රතිපාදන සපයනු ඇති අතර, අදාළ මධ්‍යස්ථාන සෞඛ්‍ය බලධාරීන් මගින් කළමනාකරණය කර මෙහෙයවනු ලැබේ.” යනුවෙන්ද සමාගම පවසයි.

Visits: 167