ASPI යළිත් ඒකක 6,000 සීමාවේ විචලනය වීම ඇරඹේ, දෙවැනි දිනටත් රු.බි. 4ක පිරිවැටුමක්

අද (නොවැම්බර් 06) වැනිදා කොළඹ කොටස් හුවමාරුවේ ගනුදෙනු අතරතුරදී රෝයල් සෙරමික්ස් ලංකා පීඑල්සී සමූහය පෙන්නුම් කළ ඉහළ දක්ෂතා හේතුවෙන් එම අංශයේ සමාගම් බොහෝමයක කොටස් වටිනාකම් කැපී පෙනෙන ලෙස ඉහළ ගිය බව කොටස් තැරැව්කාර සමාගම් පවසයි. එසේම එම තත්ත්වය ආයෝජකයන් තුළ ධනාත්මක අවස්ථාවන් ඇති කරමින් විශ්වාසනීයත්වයක් ඇති කිරීමත් සමගින්ම අද දිනයේදීද දර්ශක අගයන් ඉහළ යාම සිදු විය. එහිදී දෛනික පිරිවැටුමද දෙවැනි දිනයටත් රුපියල්  බිලියන 4 ඉක්මවීමට හැකි විය.

ඒ අනුව මෙහිදී සමස්ත කොටස් මිල දර්ශකය (ASPI) අද දිනයේදී ඒකක 6,038.97ත් ඒකක 6,094.03ත් අතර අගයක විචලනයක් පෙන්වීය. එහිදී දිනය නිමා වනවිට එය ඒකක 6,080.09 ක් බවට පත්විය. ඊයේ (නොවැම්බර් 05) දිනයට සාපේක්ෂව එය ඒකක 75.98 ක් එනම් +1.27%ක ඉහළ යාමක් පෙන්නුම් කර ඇත.

අද දිනයේදී පෙර සිදු කළ සාකච්ඡාවලට අනුව සිංහ හොස්පිටල්ස් පීඑල්සී, කොමර්ෂල් බෑංකුව සහ යුනියන් බැංකුව සිදු කළ ගනුදෙනු දෛනික පිරිවැටුම සඳහා 4% ක දායකත්වයක් ලබා දී ඇත.

එසේම අද දිනයේ සිදු වූ සමස්ත ගනුදෙනු අතර සමාගම් 148ක මිල ගණන් ඉහළ ගිය අතර, සමාගම් 47ක මිල ගණන් පහළ යාම සිදු විය.

මෙහිදී සමස්ත කොටස් මිල දර්ශකයේ විචලනය සඳහා වැඩිම දායකත්වය සැපයූ සමාගම් වූයේ හේලීස් පීඑල්සී  HAYL (+8.49), රෝයල් සෙරමික්ස් ලංකා පීඑල්සී RCL (+7.81), වැලිබල් වන් පීඑල්සී VONE (+6.98),  සිංගර් (ශ්‍රී ලංකා) පීඑල්සී SINS (+3.88), වටවල ප්ලනේටේෂන්ස් පීඑල්සී WATA (+3.31), බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී BIL (-3.3), ඩයලොග් ආසිආටා පීඑල්සී DIAL (-1.88),  ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී SLTL (-1.66),  සොෆ්ට්ලොජික් ලයිෆ් ඉන්ෂුවරන්ස් පීඑල්සී AAIC (-1.2)  සහ  එල්ඕඑල්සී ෆිනෑන්ස් පීඑල්සී LOFC (-1.2) යනාදී සමාගම්ය.

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් දවසේ ගනුදෙනු නිමාවේදී ඒකක 2,370.30 ක අගයක් ගත් අතර, එය ඊයේ (නොවැම්බර් 05) දිනයට සාපේක්ෂව ඒකක 22.90 ක එනම් +0.98%ක ඉහළ යාමකි.

මෙහිදී දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 4.99ක් ලෙස සටහන්ව තිබූ අතර, එය ඊයේ (නොවැ 05දා) වාර්තා කළ රුපියල් බිලියන 4.28ට සාපේක්ෂව 17%ක ඉහළ යාමකි. එහිදී විදේශීය ආයෝජකයන් තවදුරටත් දිනයේ වැඩිම අලෙවිකරුවන් පිරිසක් බවට පත් විය.

ඒ අනුව මේ තත්ත්වයත් සමගම දිනයේ සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 2.65ක අගයකට පත්ව ඇති අතර එය මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අද දිනය දක්වා 7.08%ක අලාභයක් ලෙස සටහන්ව තිබේ.

මේ අතර, දිනයේ සමස්ත විදේශීය මිලදී ගැනීම්වල වටිනාකම රුපියල් මිලියන 94.32ක් ලෙස සටහන් විය. එසේම සමස්ත විදෙස් විකුණුම් රුපියල් මිලියන 245.35 ක අගයක් ගෙන තිබේ.

දිනයේ දළ විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 151 කි. ඒ අනුව වසරේ ආරම්භයේ සිට මේ දක්වා සමස්ත විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් බිලියන 46.54ක් ලෙස සටහන්ව තිබේ.

මෙහිදී මිලදී ගැනීම් යටතේ වැඩිම දායකත්වය නමුනුකුළ ප්ලාන්ටේෂන්ස් පීඑල්සී විසින් ලබා දී ඇති අතර, එම ආයෝජන ගලාඒම්හි වටිනාකම රුපියල් මිලියන 11.39කි. එසේම හැටන් නැෂනල් බැංකු විකුණුම් යටතේ වැඩිම දායකත්වයක් ලබා දුන් අතර ඒ හරහා සිදුවූ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 30.67ක් ලෙස සටහන්ව ඇත.

මේ අතර දිනයේ සමස්ත පිරිවැටුමෙන් රුපියල් බිලියන 1.41ක් සඳහා ප්‍රාග්ධන භාණ්ඩ අංශය දායකත්වය ලබා දී ඇති අතර, එය ප්‍රතිශතයක් ලෙස 28% ක අගයක් ගෙන තිබේ. එසේම නිෂ්පාදන අමුද්‍රව්‍ය අංශය සහ ප්‍රවාහන අං ශ දෙවැනි සහ තෙවැනි ස්ථාන බවට පත්වෙමින් පිළිවෙලින් රුපියල් බිලියන 1.23ක සහ රුපියල් මිලියන 593ක දායකත්වයක් දිනයේ පිරිවැටුම සඳහා ලබා දී ඇත.

Visits: 201