මහ බැංකුවේ 4%ක කාරක ප්‍රාග්ධන ණය සඳහා වූ සහන කාලය දීර්ඝ කෙරේ

කොවිඩ්-19 වසංගතය හේතුවෙන් පීඩාවට පත් ව්‍යාපාර යළි නගා සිටුවීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව, ශ්‍රී ලංකා රජය සමග සාකච්ඡා කර ලබා දුන් 4%ක පොළී අනුපාතිකයක් යටතේ වූ කාරක ප්‍රාග්ධන ණය යෝජනා ක්‍රමයේ සහන කාලය මාස 6 සිට මාස 9 දක්වා දීර්ඝ කර ඇතැයි මහ බැංකුව පවසයි.

මෙම කාරක ප්‍රාග්ධන ණය යෝජනා ක්‍රමයේදී මාස 24ක් දක්වා ණය ආපසු ගෙවීමේ කාලසීමාවක් පැවති අතර. මාස 6ක සහන කාලයක්ද ඊට ඇතුළත්ව තිබුණි. ඒ අනුව එම ණය ලබා ගත් පිරිසට තවත් මාස 3ක අමතර සහන කාලයක්  හිමිව තිබේ.

කොවිඩ්-19 වසංගතයේ දෙවැනි රැල්ල හේතුවෙන් මෙම තීරණය ගෙන ඇතැයි මහ බැංකුව සඳහන් කරයි. ඒ සඳහා ණය ලාභීන් ඒ සම්බන්ධයෙන් අදාළ බැංකුවට ලිඛිත ඉල්ලීමක් සිදු කළ යුතුව තිබේ.

“කොවිඩ්-19 වසංගතයේ දෙවැනි රැල්ල හේතුවෙන් බොහෝ ණය ලාභීන් අපේක්ෂා කළ පරිදි තම ව්‍යාපාර යථා තත්ත්වයට පත් කරගැනීමේ දුෂ්කරතාවලට මුහුණ දෙන බව නිරීක්ෂණය වී ඇත. එබැවින් ණය ආපසු ගෙවීම සඳහා ණයලාභීන්ට පහසුකම් සැලසීමේ සහ දිරිගැන්වීමේ වැදගත්කම සලකා බැලීමෙන් අනතුරුව, සෞභාග්‍යා කොවිඩ්-19 පුනරුද සහන ණය පහසුකම යටතේ ලියාපදිංචි කර ඇති ණය සඳහා අදාළ සහන කාලය, ලිඛිත ඉල්ලීමක් කරනු ලබන ණයලාභීන් සඳහා තවත් මාස 3කින් දීර්ඝ කිරීමට තීරණය කර තිබේ.” මහ බැංකුව පවසයි.

මෙම කාරක ප්‍රාග්ධන ණය පහසුකම් සැපයීම සඳහා සෞභාග්‍යා කොවිඩ්-19 පුනරුද සහන ණය පහසුකම අදියර තුනක් යටතේ ක්‍රියාත්මක කර ඇතැයි මහ බැංකුව පෙන්වා දෙයි.

Visits: 195