පිරාමාල් ග්ලාස් මිලදී ගැනීමේ සටනෙන් Bain Capital ඉදිරියට

ඉන්දියාවේ පිරාමාල් ග්ලාස් ප්‍රයිවට් ලිමිටඩ් සමාගම අත්පත් කරගැනීමේ සටන සඳහා එක් වූ අලුත්ම සමාගම ලෙස ඇමෙරිකානු ආයෝජන සමාගමක් වන Bain Capital සමාගම ඉදිරිපත්ව ඇතැයි මාධ්‍ය වාර්තා පවසයි. මෙහිදී එම සමාගම පිරාමාල් ග්ලාස් සඳහා ඉදිරිපත් කර ඇති වටිනාකම එක්සත් ජනපද ඩොලර් මිලියන 900 කි.

මීට පෙර පිරාමාල් ග්ලාස් ප්‍රයිවට් ලිමිටඩ් සමාගම මිලදී ගැනීම සඳහා ඉදිරිපත්ව සිටි තවත් ඇමෙරිකානු ආයෝජන සමාගමක් වන Blackstone Group මගින් ඒ සඳහා ඉදිරිපත් කර තිබූ වටිනාකම එක්සත් ජනපද ඩොලර් මිලියන 790 කි. කෙසේ වෙතත් පිරමාල් සමූහය සිය සමාගම සඳහා එක්සත් ජනපද ඩොලර් බිලියනයක පමණ වන වටිනාකමක් බලාපොරොත්තුව සිටින බව පැවසෙයි.

මේ අතර විදෙස් මාධ්‍ය පවසන ආකාරයට පිරාමාල් ග්ලාස් මිලදී ගැනීම සඳහා Blackstone සහ Bain Capital යන සමාගම්වලට අමතරව තවත් ලංසුකරුවන් දෙදෙනෙකුද මේ මිලදී ගැනීමේ සටන සඳහා  ඉදිරිපත්ව සිටින බවත් සඳහන් වෙයි.

ඉන්දියාවේ සුප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වන අජේ පිරාමාල් වෙත අයත් පිරාමාල් සමූහය යටතේ ක්‍රියාත්මක පිරාමාල් ග්ලාස් ප්‍රයිවට් ලිමිටඩ් සමාගම අද වනවිට ලොව වීදුරු අසුරුම් නිෂ්පාදන කර්මාන්තයේ මුල් පෙලේ සිටින සමාගමක් බවට පත්ව සිටියි. ඔවුන් ඉන්දියාවේ පිරිමාල් සමාගමට අමතරව ශ්‍රී ලංකාවේ (පිරාමාල් ග්ලාස් සිලෝන් පීඑල්සී) සහ ඇමෙරිකා එක්සත් ජනපදයේද (පිරාමාල් ග්ලාස් ඉන්කෝපරේෂන්) ලෙස සමාගම් දෙකක් පවත්වාගෙන යයි.

එසේම අද වනවිට පිරාමාල් ග්ලාස් ප්‍රයිවට් ලිමිටඩ් සතුව කර්මාන්තශාලා ප හක් පවතී. එහිදී ඉන්දියාවේ සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ කර්මාන්තශාලා දෙක බැගින් පිහිටා ඇති අතර, ශ්‍රී ලංකාව තුළ එක් කර්මාන්තශාලාවක් පිහිටා තිබේ. 2019 මාර්තු 31 වැනිදා වනවිට මෙම කර්මාන්තශාලා හරහා සිදු කරෙන දෛනික නිෂ්පාදන ධාරිතාව ටොන් 1,410 ක් බව පැවසෙයි.

වීදුරු නිෂ්පාදනයට අමතරව පිරාමාල් සමූහය මේ වනවිට දේපළ වෙළෙඳාම්, ඖෂධ සහ මූල්‍ය සේවා යනාදී ව්‍යාපාර කටයුතුවල නිරතව සිටියි.

පෙර ලිපි
පිරාමාල් සමූහය සිය වීදුරු නිෂ්පාදන ව්‍යාපාරය අලෙවියට ගැනුම්කරුවන් සොයයි

Visits: 999