හිටපු මහ බැංකු නියෝජ්‍ය අධිපති සිරිවර්ධන යුනියන් බැංකු අධ්‍යක්ෂ මණ්ඩලයට

යුනියන් බැංකුවේ නව අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිවරයෙකු ලෙස සේවය කළ චන්ද්‍රසිරි ජයසිංහ පන්ඩිත සිරිවර්ධන මහතා පත් කරගැනීමට එහි අධ්‍යක්ෂ  මණ්ඩලය තීරණය කර ඇතැයි පවසයි. එසේම අද වනවිට ඒ මහතා කොළඹ කොටස් හුවමාරුවේ අධ්‍යක්ෂවරයෙකු ලෙසද කටයුතු කරයි.

නොවැම්බර් 02 වැනිදා සිට මෙම නව  පත් කිරීම සිදුව තිබේ. ඒ අනුව සිරිවර්ධන මහතා විධායක නොවන ස්වාධීන අධ්‍යක්ෂවරයෙකු ලෙස යුනියන් බැංකුවේ කටයුතු කරනු ඇතැයි සඳහන් වෙයි. එසේම මෙම පත්වීම ලබන අවස්ථාව වන විට සිරිවර්ධන මහතා සතුව බැංකුවේ කිසිදු කොටස් හිමිකාරීත්වයක් නොමැති බවත් යුනියන් බැංකුව සඳහන් කර සිටියි.

2017 වසරේ සිටම ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිවරයෙකු ලෙස සේවය කළ සිරිවර්ධන මහතා 2018 වසරේදී ඉන් විශ්‍රාම ගියේය. ඒ මහතා එක්සත්  රාජධානියේ වෝර්වික් විශ්වවිද්‍යලයෙන් M.Sc. උපාධියක් සහ ප්‍රමාණාත්මක සංවර්ධන ආර්ථිකයන් පිළිබඳ පශ්චාත් ඩිප්ලෝමාවක්ද හිමි කර ගැනීමට සමත්ව තිබේ. එසේම ඒ මහතා රුහුණ විශ්වවිද්‍යාලයෙන් කෘෂිකර්මය පිළිබඳ B.Sc. උපාධියක්ද හිමි කරගැනීමට සමත්ව තිබේ.

සිරිවර්ධන මහතාගේ වසර 32කට අධික මහ බැංකු සේවා කාලයේදී  ඒ  මහතා බැංකු ආවේක්ෂණ දෙපාර්තමේන්තුවේ, බැංකු නොවන මුදල් ආයතන ආවේක්ෂණය, රාජ්‍ය ණය, ගෙවීම් සහ පියවීම්, මුදල්, මහලේකම් කාර්යාලය, තොරතුරු තාක්ෂණය, අවදානම් කළමනාකරණය සහ මූල්‍ය බුද්ධි ඒකකය යන දෙපාර්තමේන්තු සහ අංශ තුළ නියෝජ්‍ය අධිපතිවරයා ලෙස කටයුතු කර ඇත.

ඒ මහතා ජාතික පියවීම් කවුන්සිලයේ සභාපතිවරයා ලෙසද කටයුතු කර තිබේ. එසේම මූල්‍ය පද්ධති ස්ථායිතා කමිටුව සහ මුදල් ප්‍රතිපත්ති කමිටුවේ සාමාජිකයෙකුට අමතරව භාණ්ඩාගාර බැදුම්කර සහ භාණ්ඩාගාර බිල්පත් හි ඩෙන්ඩර් මණ්ඩලයේද සාමාජිකයෙකු ලෙසද ඒමහතා කටයුතු කර තිබේ.  මීට අමතරව අන්තර් නියාමන ආයතන කමිටුවට සහ මුදල් නොවන අවදානම් කළමනාකරණ කමිටුවේද ඒ මහතා සාමාජිකයෙකු ලෙස කටයුතු කර ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුවෙන් විශ්‍රාම යෑමෙන් අනතුරුව ඒ මහතා රජය සහ ශ්‍රී ලංකා මහ බැංකුව නියෝජනය කරමින් විවිධ ජාතික මෙන්ම ජාත්‍යන්තර ඉසව් වෙතද සම්බන්ධ විය. එසේම අවදානම් කළමනාකරණය, ණය කළමනාකරණය, ආයෝජන කළමනාකරණය,  මූල්‍ය ස්ථායිතාවය, මුදල් ප්‍රතිපත්තිය, නායකත්වය සහ ප්‍රාදේශීය සංවර්ධනය යනාදී අංශ පිළිබඳ වන ජාත්‍යන්තර පුහුණුවීම් රැසක් වෙතම ඒ මහතා සම්බන්ධ වී තිබේ.

එසේම සිරිවර්ධන මහතා මීට පෙර සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ කොමසාරිස්වරයා, ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිසමේ අධ්‍යක්ෂවරයා, ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශයේ සභාපතිවරයා, ජාතික ආර්ථික කවුන්සාලයේ නියෝජ්‍ය මහලේකම්වරයා මෙන්ම ශ්‍රී ලංකා විදුලිබල මන්ඩලයේ, ලංකා ක්ලියර් (පෞද්) සමාගමේ, කලම්බු ඩොක්යාර්ඩ් පීඑල්සීහි අධ්‍යක්ෂ  මණ්ඩල සාමාජිකයෙකු ලෙසද, ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ නිරීක්ෂකයෙකු ලෙසද කටයුතු කර තිබේ.

Visits: 135