“ඉදිරි මාස 12 තුළ අපනයන ව්‍යාපාර තුළ සහ ආර්ථිකයේ මධ්‍යස්ථ වර්ධනයක්” – USAID PARTNER සහ ලංකා වාණිජ මණ්ඩලය පවසයි

ඉදිරි මාස 12 තුළ රටේ ආර්ථිකය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා අපනයනකරුවන්ගේ දැක්ම ධනාත්මක වන අතර එම කාලසිමාව ඇතුලත අපනයන ව්‍යාපාර වල සහ රටේ ආර්ථිකයෙහි  මධ්‍යස්ථ වර්ධනයක් අපේක්ෂා කරන බවත්  ලංකා වාණිජ මණ්ඩලය (CCC) සහ එක්සත් ජනපදයේ අන්තර්ජාතික සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද ආයතනයේ (USAID) PARTNER ව්‍යාපෘතිය විසින් සිදු කරන ලද නවතම ව්‍යාපාරික සමීක්ෂණය පෙන්වාදෙයි.

මෙම සමීක්ෂණය 2020 අගෝස්තු 13 සිට සති තුනක් පුරා පවත්වා තිබේ. මැයි මාසයෙන් පසු ආර්ථිකය නැවත විවෘත කිරීමත් සමඟ, 2020 මැයි මාසයේදී ප්‍රකාශයට පත් කරන ලද මෙම සමීක්ෂණයේ පළමු අදියරට සාපේක්ෂව, අපනයන ආයතන වර්තමානයේ අභියෝගයන්ට මුහුණ දී ඇති ආකාරය පිළිබඳ මෙම නවතම සමීක්ෂණය හරහා  අවබෝධයක් ලබා දෙන බව එම සංවිධාන දෙකම පවසයි.

“රටේ ඇඳිරි නීතිය ක්‍රියාත්මක වූ 2020 මැයි මාසයේදී සිදු කරන ලද ප්‍රථම සමීක්ෂණයේ දී  අපනයන ව්‍යාපාරවල සහ ආර්ථිකයේ ‘දැඩි හෝ මධ්‍යස්ථ සංකෝචනයක්’ අපේක්ෂා කරන ලදී. නව සමීක්ෂණයේ දී මෙම අපේක්ෂා මධ්‍යස්ථ වර්ධනයක් ලෙස සුබවාදී අතට හැරී තිබේ.” එහි සඳහන් වෙයි.

සමීක්ෂණය හරහා අපනයන අංශ 39 ක් (භාණ්ඩ මෙන්ම සේවා අපනයනය ද ඇතුළුව) ආවරණය කර ඇති අතර සමීක්ෂණ නියැදිය මගින්, මහා පරිමාණ සමාගම්, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්  සහ කාන්තාවන් විසින් මෙහෙයවනු ලබන / හිමිකාරිත්වය දරන අපනයන ව්‍යාපාර ආයතන නියෝජනය වන පරිදි අදහස් ලබා ගෙන තිබේ.

“COVID-19 වසංගත තත්වය හේතුවෙන් භාණ්ඩ හා සේවා වෙළඳපොළට මෙන්ම ශ්‍රම වෙළඳපොළට සිදුවූ බලපෑම් පිළිබඳ උපායමාර්ගික අවබෝධයක් ලබා දෙමින් අපනයන ව්‍යාපාරයන්හි ජ්‍යෙෂ්ඨ මට්ටමේ විධායක නිලධාරීන් විසින් සමීක්ෂණයට ප්‍රතිචාර දක්වන ලදී. නවතම සමීක්ෂණයට සහභාගී වූවන්ගෙන් 49% ක් 2020 මැයි මස පැවැත්වූ පළමු සමීක්ෂණයට ද සහභාගීවූ බැවින් පසුගිය මාස කිහිපය තුල වූ වෙනස්කම් සසඳා බැලීමටද මෙම සමීක්ෂණය උපකාරී විය.” වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වෙයි.

මෙම සම්පූර්ණ වාර්තාව CCC ‘Trade Watch’ වෙබ් අඩවියෙන් ලබා ගත හැකිය: https://www.chamber.lk/images/COVID19/pdf/FindingsReportBusinessSurveyImpactonExporters_Oct2020.pdf

අපනයන ව්‍යාපාර සඳහා ඉදිරි දැක්ම

අපනයන ව්‍යාපාරවල මෙහෙයුම් පූර්ව COVID-19 මට්ටම කරා ළඟාවෙමින් පවතින  බව ද වර්තමාන සමීක්ෂණයේ සොයාගැනීම් පෙන්වා දෙයි. ප්‍රතිචාර දක්වන ලද ආයතන වලින් 53% ක් සාමාන්‍ය මෙහෙයුම් තත්වය කරා දැනටමත් නැවත ළගා  වී ඇති අතර, 64% සමාගම් සිය මෙහෙයුම් ධාරිතාවෙන් 60% ඉක්මවා ඇති බව වාර්තා කර ඇත. කෙසේ වෙතත්, ප්‍රතිචාර දැක්වූ සමාගම්වලින් 38% ක් පමණ තවමත් අර්ධ ක්‍රියාකාරී මට්ටමෙන්, එනම් තම මෙහෙයුම් ධාරිතාවෙන් 50% කට ආසන්න ප්‍රමාණයෙන් පමණක් ව්‍යාපාර වල නියැලෙන බව සමීක්ෂණය පෙන්වාදෙයි.

නව වෙළඳපොළ අවස්ථා පහත වැටීමක්  

පසුගිය සමීක්ෂණයේ දී 63% ක පැවති නව වෙළඳපොළ අවස්ථා සොයා ගැනීම හා සම්බන්ධ ප්‍රතිචාර මට්ටම නවතම සමීක්ෂණයේ දී 49% දක්වා අඩු වී ඇත. මෙම වෙළඳපොළ අවස්ථා පහත වැටීමට හේතු වී ඇත්තේ COVID-19 වසංගත තත්වය හේතුවෙන් අපේක්ෂා කල ව්‍යාපාර අවස්ථා සමහරක් අපේක්ෂිත පරිදි නොලැබීම මෙන්ම COVID-19 වසංගත තත්වය හේතුවෙන් බිහි වන නව නිෂ්පාදන / සේවා සැපයීමේ දී සමාගම් මුහුණ දෙන අභියෝග වැනි කරුණු බව අපේක්ෂා කළ හැක.

 රැකියා සහ පුහුණුව සඳහා වූ ඉදිරි දැක්මෙහි වැඩි දියුණු වීමක්  

සේවා නියුක්ති මට්ටම  හා පුහුණු කිරීම සඳහා ව්‍යාපාර විසින්  දැරීමට අපේක්ෂිත වියදම (පුහුණු අයවැය) වැනි කරුණු තුලින් ආර්ථිකය යථා තත්වයට පත්වීම සම්බන්ධයෙන් ව්‍යාපාරවල ඉදිරි දැක්ම තහවුරු වේ. සමීක්ෂණයට ප්‍රතිචාර දැක්වූ ව්‍යාපාර 70% කට වඩා වැඩි ප්‍රමාණයකට  වර්තමානයේ දී සියලු විධායක හා විධායක නොවන ශ්‍රේණියේ සේවකයින් සඳහා සම්මත දීමනාවක් සහිතව මූලික වැටුප ගෙවීමට හැකිවී ඇති බවට ප්‍රකාශ කල අතර එය මැයි මාසයේ වාර්තා වූ 40% ක ප්‍රතිචාරයට සාපේක්ෂව සැලකිය යුතු දියුණුවකි. සමාගම් වලින් 47% ක් වර්තමානයේ දී ඔවුන්ගේ පුහුණු අයවැය 2019 ට සාපේක්ෂව නොවෙනස්ව පවතිනු ඇතැයි අපේක්ෂා කරන අතර  මැයි සමීක්ෂණයේදී පැවති 65% ක මට්ටමට සාපේක්ෂව මෙය කැපී පෙනෙන වර්ධනයකි.

අපනයන වර්ධනය  පවත්වා ගැනීම සඳහා රජයේ සහාය  

ව්‍යාපාර යථා තත්ත්වයට පත් කිරීමට සහ අපනයනවල තිරසාර වර්ධනය සහතික කිරීමට හැකි නිශ්චිත ඉල්ලීම් කිහිපයක් සමාගම් විසින් රජයට ඉදිරිපත් කරයි. බදු සහන ලබාදීම, වෙළඳපොළ  ප්‍රවේශ සහාය ලබාදීම, ප්‍රතිපත්ති හා නියාමන කටයුතු පිළිබඳ ශක්තිමත් සන්නිවේදන උපාය මාර්ග ස්ථාපනය, මූල්‍ය ආධාර ලබාදීම සහ රජයේ සේවා ඩිජිටල්කරණය මෙකී ඉල්ලීම් අතර වේ. බදු සහන, මූල්‍ය ආධාර සහ ඩිජිටල්කරණ ඉල්ලීම් මීට පෙර සමීක්ෂණයේ දී ද ආයතන  වලින් ඉල්ලා සිටි ඉහළම ඉල්ලීම් තුන අතරට ඇතුළත් වූ අතර, එකී ඉල්ලීම් සම්බන්ධයෙන්  පෞද්ගලික අංශය තවදුරටත් දැඩි අවධානයක් යොමු කරන බව සමීක්ෂණය අවධාරණය කරයි. දේශීය හා විදේශීය නිෂ්පාදන යෙදවුම් වල මිල වැඩි වීම වැනි යෙදවුම් මූලාශ්‍ර අවහිරතා විසඳීම සඳහා මෙම ආයතන වලට සහාය අවශ්‍ය වේ. මෙකී ගැටළු විසඳීම තුළින් අනාගතයේ දී පැන නගින අපනයන අවස්ථාවන්ගෙන් උපරිම ප්‍රයෝජන ගනිමින්, ශ්‍රී ලාංකික අපනයනකරුවන්ගේ ශක්‍යතාව ඉහළ නැංවිය හැකිය.

Visits: 282