ලෝකයේ ස්වර්ණාභරණ ඉල්ලුම තවත් පහළට

ලොව පුරා පාරිභෝගික ජනතාව අතර ස්වර්ණාභරණ සඳහා වන ඉල්ලුම 2020 තුන්වැනි කාර්තුවේදී (ජූලි, අගෝස්තු සහ සැප්තැම්බර් මාස) තවදුරටත් පහත බැස ඇතැයි ලෝක රන් කවුන්සිලය පවසයි. ලොව පුරා ව්‍යාප්තව පවතින නව කොරෝනා වසංගත තත්ත්වය නිසා පනවා ඇති ලොක්ඩවුන් සීමා මෙන්ම වාර්තාගත ඉහළ ගිය රත්රන් මිල හේතුවෙන් මෙලෙස ස්වර්ණාභරණ සඳහා වන ඉල්ලුම අඩුව තිබෙන බව සඳහන් වෙයි.

එම කවුන්සිලයට අනුව 2020 වසරේ තුන්වැනි කාර්තුව වනවිට ගෝලීය ස්වර්ණාභරණ ඉල්ලුම ටොන් (t) 333 කි. එහෙත් 2019 වසරේ තුන්වැනි කාර්තුවේදී එය ටොන් 468.1 ක් ලෙස සටහන්ව තිබේ.  ඒ අනුව එය පෙර වසරට සාපේක්ෂව -29%ක ප්‍රතිශතයකින් ඉල්ලුම අඩුවීමකි.

මේ වසරේ තුන් වැනි කාර්තුවේදී වාර්තා වන මෙම ස්වර්ණාභරණ ඉල්ලුමේ වටිනාකම එක්සත් ජනපද ඩොලර් බිලියන 20.4ක් වන අතර එය පසුගිය වසරේ තුන්වැනි කාර්තුව හා සැසඳීමේදී 8%ක වටිනාකම් පහත වැටීමක් ලෙසද සැලකෙයි.

2000 වසරේ පළමු කාර්තුවේ සිට මේ දක්වා ලෝක රන් කවුන්සිලය සතු දත්ත අනුව 2020 තුන්වැනි කාර්තුවේදී පැවැති මෙම ඉල්ලුම එතෙක් මෙතෙක් කාර්තුවකදී වාර්තා කළ තෙවැනියට අඩුම ස්වර්ණාභරණ ඉල්ලුම ලෙසින්ද සැලකෙයි.

මේ අතරින් ඉන්දියාව තුළද ස්වර්ණාභරණ සඳහා වන ඉල්ලුම හරි අඩකට ආසන්නව පහළ බැස තිබේ. 2020 තුන්වැනි කාර්තුවේදී එරට ස්වර්ණාභරණ ඉල්ලුම ටොන් 52.8ක් ලෙස සටහන්ව ඇති අතර 2019 තුන්වැනි කාර්තුවේදී එය ටොන් 101.6ක් වී තිබේ. ඒ අනුව මෙම ඉල්ලුමේ අඩුවීම -48%කි.

එසේම චීනය තුළත් 2020 තෙවැනි කාර්තුවේදී ස්වර්ණාභරණ සඳහා වන ඉල්ලුම -25% කින් අඩු වීතිබේ. ඒ අනුව 2020 තෙවැනි කාර්තුවේදී එය ටොන් 119.1ක් බවට පත්ව ඇති අතර 2019 තුන්වැනි කාර්තුවේදී එය ටොන් 158.1ක් ලෙස සටහන්ව තිබී ඇත.

විශේෂයෙන්ම ලොව එතෙක් මෙතෙක් ඉහළම රන් මිල පසුගිය අගෝස්තු මාසයේදී වාර්තා කළ අතර ඒ හරහා පාරිභෝගිකයන් තුළ රන් සඳහා වන උනන්දුව පහළ හෙළීමට සමත්ව තිබේ.

කෙසේ වෙතත් 2020 දෙවැනි කාර්තුවේදී (අප්‍රේල්, මැයි සහ ජූනි) ලොව පුරා ඇතැයි රටවල පනවා තිබූ ලොක්ඩවුන් සීමා ලිහිල් කිරීමත් සහ අන්තර්ජාලය හරහා භාණ්ඩ ඇනවුම් කිරීමේ ප්‍රවණතාවක් ඇතිවීමත් සමගින්ම ස්වර්ණාභරණ සඳහා වන ඉල්ලුම ඉහළ ගිය බවත් පැවසෙයි.

ලෝක රන් කවුන්සිලය පවසන ආකාරයට මේ වසරේ ජනවාරි සිට සැප්තැම්බර් දක්වා මුල් මාස නවයක කාලය තුළදී වාර්තාවන ගෝලීය ස්වර්ණාභරණ ඉල්ලුම ටොන් 904 කි. එහෙත් එය 2009 වසරේ ඇති වූ ගෝලීය ආර්ථික අර්බුදය අවස්ථාවේදී මුල් මාස 9 තුළ වාර්තා කළ ස්වර්ණාභරණ ඉල්ලුම වූ ටොන් 1291.7ටත් වඩා 30%ක අඩුවීමක් බව එම කවුන්සිලය පවසයි.

2020 නොවැම්බර් 02 වැනිදා වනවිට ලෝක වෙළෙඳ පොළේ රත්රන් අවුන්සයක මිල එක්සත් ජනපද ඩොලර් 1,882.30ක් ලෙස වාර්තා වෙයි. පසුගිය අගෝස්තු මාසයේදී එය ඩොලර් 2,000  ද  ඉක්මවීය.

Visits: 390