කොවිඩ්-19 නිසා නැවතුණු මෙහෙයුම් ඉක්මණින්ම අරඹනවා – සිලෝන් ග්‍රේන් එලවේටර්ස් පීඑල්සී

සුප්‍රසිද්ධ ‘ප්‍රීමා චිකන්’ සන්නාමය හිමි සිලෝන් ග්‍රේන් එලවේටර්ස් පීඑල්සී සමාගම යටතේ අංක 15 රොක් හවුස් මාවත, කොළඹ 15 ස්ථානයේ පිහිටි ආහාර ඇඹරුම් ව්‍යාපාර ඒකකයේ සේවයේ නිරත සිය කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් සිව් දෙනෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගත් බව එම සමාගම නිවේදනයක් මගින් පවසයි.

සමාගමේ කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් සඳහා සිදු කළ අහඹු කොවිඩ්-19 පරීක්ෂාවේ ප්‍රතිඵල ලෙස පසුගිය ඔක්තෝබර් 31 වැනිදා මෙම සිව් දෙනා හඳුනාගැනීම සිදු කර තිබේ. එම අවස්ථාව වනවිට එම සිව් දෙනාගෙන් එක් අයෙකු පමණක් ඉහත සඳහන් කළ පරිශ්‍රය තුළ රැඳී සිට ඇති අතර අනෙක් තිදෙනා නිවෙස් හි රැඳී සිට ඇත.

ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ සමාගම සෞඛ්‍ය උපදෙස් අනුව අනෙකුත් කාර්ය මණ්ඩල සාමාජිකයන් සියලු දෙනාම හුදෙකලා කිරීමටත්, නිරෝධායනයට ලක් කිරීමටත් පියවර ගත් බවත් සමාගම පවසයි. එසේම වෛරසය ආසාදිත ඉතිරි කාර්ය මණ්ඩල සාමාජිකයන් තිදෙනා තමන්ගේ නිවෙස් තුළම නිරෝධායනයට ලක් කෙරී ඇත. එහිදී ඔවුන්ගේ යහ පැවැත්ම වෙනුවෙන් සමාගම සිය සහයෝගය දක්වමින් ඔවුන් පිළිබඳව සොයා බැලූ බවත් සිලෝන් ග්‍රේන් එලවේටර්ස් පීඑල්සී සමාගම වැඩිදුරටත් පවසයි.

“සමාගම විසින් මූලික සෞඛ්‍ය ආරක්ෂිත වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම යටතේ ආයතන පරිශ්‍රය තුළ සිදු කළ අහඹු  පීසීආර් පරීක්ෂණ හරහා මෙම ආසාදිතයන් හඳුනාගැනීම සිදු කළා. ඒ අනුව මෙම ආහාර ඇඹරුම් කර්මාන්තශාලාවේ නිෂ්පාදන මෙහෙයුම් පසුගිය නොවැම්බර් 01 වැනිදා සිට නැවැත්වීමටත් කටයුතු කළා. ඒ වගේම එය දින හතරක කාලයක් වසා දැමීමටත් තීරණය කර තිබෙනවා.” සමාගම පවසයි.

ඒ අනුව මෙම කාලසීමාව තුළදී අදාළ අසාදිතයන්ගේ ළගම ආශ්‍රිතයන් සම්බන්ධව පීසීආර් පරීක්ෂණ පැවැත්වීමටත්, එම කර්මාන්තශාලා පරිශ්‍රය විෂබීජහරණය කිරීමටත් කටයුතු යොදන බව සිලෝන් ග්‍රේන් එලවේටර්ස් පීඑල්සී සමාගම සඳහන් කරයි. එසේම දැනට හඳුනාගෙන ඇති මෙම සමීප ආශ්‍රිතයන් සියලු දෙනාටම නිවෙස්වලටම වී සිටින ලෙසත් හුදෙකලා වන ලෙසත්, තමන්ගේ දෛනික වෛද්‍ය වාර්තා සමාගම වෙත වාර්තා කරන ලෙසත් උපදෙස් ලබා දී ඇති බවත් සමාගම පවසයි.

මේ අතර දැනට වසා දමා ඇති ආහාර ඇඹරුම් කර්මාන්තශාලාවේ මෙහෙයුම් යළිත් ආරම්භ කළ වහාම එය නිසි ලෙස පවත්වාගෙන යාමට අවශ්‍ය අතිරේක නිෂ්පාදන කණ්ඩායමක්ද සකස් කරගෙන ඇති බවත් සමාගම වැඩිදුරටත් අවධාරණය කර සිටියි.

එහිද රජයේ සෞඛ්‍ය බලධාරීන් සමගින් සමීපව කටයුතු කරමින් ඔවුන් ලබා දෙන උපදෙස් අනුව කටයුතු කරමින් මෙම වෛරසය තවදුරටත් සම්ප්‍රේෂණය වීම සීමා කරවීම සඳහා කටයුතු යොදන බවත් සමාගම පවසයි.

“අද වනවිට සිලෝන් ග්‍රේන් එලවේටර්ස් මගින් දිවයින පුරාම පිහිටි ලෙස කුකුළුමස් ගොවිපොළ පවත්වාගෙන යනවා. එසේම කුකුලුමස් සැකසුම් කර්මාන්තශාලාව සීදුවේ පිහිටා තිබෙනවා. මේවායේ සියලුම මෙහෙයුම් කටයුතු සාමාන්‍ය පරිද්දෙන් සම්පූර්ණයෙන්ම පවත්වාගෙන යනවා.” සමාගම වැඩිදුරටත් සඳහන් කරයි.

Visits: 347