කලම්බු ඩොක්යාර්ඩ් පීඑල්සී යළි වැඩ අරඹලා

කොවිඩ්-19 ආසාදිතයන් කිහිපදෙනෙකු හමුවීමත් සමගින්ම තාවකාලිකව මෙහෙයුම් කටයුතු නතර කෙරුණු කලම්බු ඩොක්යාර්ඩ් පීඑල්සී සමාගමේ නෞකා නිෂ්පාදන මෙහෙයුම් ඊයේ (නොවැ 01) දිනයේ සිට යළි ආරම්භ කළ බව එම සමාගම නිවේදනයක් මගින් පවසා සිටියි.

ඒ අනුව දැනට පවත්වාගෙන යන සිය ව්‍යාපෘති නියමිත කාලයට භාරදීම වෙනුවෙන් මෙලෙස මෙහෙයුම් ආරම්භ කළ බව සමාගම පවසයි. එහිදී රජයේ සෞඛ්‍ය බලධාරීන් ලබා දී තිබෙන සෞඛ්‍ය උපදෙස් උපරිමව අනුගමනය කරමින් සිය මෙහෙයුම් සිදු කරන බවද සමාගම පවසා සිටියි.

මෙලෙස කලම්බු ඩොක්යාර්ඩ් පීඑල්සී සමාගමේ නෞකා නිෂ්පාදන පරිශ්‍රය තුළදී එහි සේවකයන් කිහිප දෙනෙකු කොවිඩ්-19 ආසාදිතයන් බවට හඳනාගැනීමෙන් අනතුරුව ඔවුන්ගේ පළමු ආශ්‍රිතයන් සියලු දෙනාම නිරෝධායනයට ලක් කෙරුණු බවත් සමාගම පවසයි.

එසේම පූර්වආරක්ෂක පියවරක් ලෙස නොවැම්බර් 01 වැනිදා වනවිට එම පරිශ්‍රයේ සේවයේ නියුතු පිරිස් තුළ පීසීආර් පරීක්ෂණ 2,000කට ආසන්න ප්‍රමාණයක් සිදු කිරීමටද සමාගමේ කළමනාකාරීත්වය පියවර ගත් බවත් ඔවුන් සඳහන් කරයි. ඒ අනුව බලධාරීන් හා සහයෝගයෙන් මෙම තත්ත්වය පාලනයට මැදිහත් වූ බවත් කලම්බු ඩොක්යාර්ඩ් පවසා සිටියි.

“මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර  ලබන අපගේ සේවකයන් වෙත අවශ්‍ය අතවශ්‍ය පහසුකම් තවදුරටත් සැපයීමට අපගේ කණ්ඩායම් කටයුතු කරනවා. එහිදී මෙම වෛරසයේ බලපෑමට ලක් වූ සිය කාර්ය මණ්ඩල සාමාජිකයන් සහ ඔවුන්ගේ පවුල්වල  යහපැවැත්ම පිළිබඳවද නිරන්තරයෙන්ම සොයා බැලීම සඳහා සමාගම තුළ වෙනම කාර්ය සාධක බලකායක්ද පිහිටුවා තිබෙනවා.” සමාගම මෙම නිවේදනයේ සඳහන් කරයි.

විශේෂයෙන්ම ලොව පුරා ඉහළ පිළිගැනීමක් ලබා ගනිමින් දකුණු ආසියාවේ පිහිටි ප්‍රධානතම නෞකා අලුත්වැඩියා සහ නෞකු නිෂ්පාදන සමාගමක් ලෙස සිය සමාගම සතුව මේ වනවිට ආසියාවේ සිට යුරෝපය දක්වා පාරිභෝගිකයන් පිරිසක් සිටින බවත්, සිය නෞකා නිෂ්පාදන මෙහෙයුම් වඩාත් සුරක්ෂිතව සහ ක්‍රමවත්ව පවත්වාගෙන යාමට කටයුතු කරමින් වෙළෙඳපොළේ වඩාත් විශ්වාසනීය සහ වගකීම් සහගත සමාගමක් ලෙස තවදුරටත් සේවය සැලසීමට කටයුතු යොදන බවත් කලම්බු ඩොක් යාර්ඩ් පීඑල්සී වැඩිදුරටත් පවසා සිටියි.

Visits: 132