“GSP+ පහසුකමේ වැඩි ප්‍රතිලාභ සඳහා අපට සිදු කරන අපනයන පරාසය පුළුල් කරන්න” – ස්විට්සර්ලන්ත තානාපති අගමැතිට පවසයි

ශ්‍රී ලංකාව මගින් යුරෝපය වෙත භාණ්ඩ අපනයනයේදී හිමි කරගෙන ඇති GSP+ පහසුකමෙන් වැඩි ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා ස්විට්සර්ලන්තයට සිදුකරන අපනයන පරාසය තවදුරටත් පුළුල් කළ හැකි ක්‍රම පිළිබඳවද සොයා බලන ලෙස ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපති ඩොමිනික් ෆර්ග්ලර් මහතා පවසයි.

පසුගියදා අරලියගහ මන්දිරයේදී අගමැති මහින්ද රාජපක්ෂ මහතා හමු වී සිදු කළ සාකච්ඥාවකදී ස්විට්සර්ලන්ත තානාපතිවරයා මේ කරුණු සඳහන් කර තිබේ. ආයෝජන, අපනයන, සංචාරක සහ කොවිඩ්-19  වසංගතයට එරෙහිව සටන් කිරීම ඇතුළු දෙරට අතර සහයෝගීතාව වර්ධනය කරගත හැකි ක්ෂේත්‍ර පිළිබඳව මෙහිදී සාකච්ඡා වූ බව අගමැති කාර්යාලය පවසයි.

අද වනවිට ස්විට්සර්ලන්තය ශ්‍රී ලංකාවේ 8 වන විශාලතම ආයෝජකයාද වෙයි. ශ්‍රී ලංකාවේ සිට ස්විට්සර්ලන්තයට ප්‍රධාන වශයෙන් ඇඟලුම්, තේ, මුහුදු ආහාර සහ මැණික් හා ස්වර්ණාභරණ අපනයනය කරයි.

එසේම ආර්ථික සංවර්ධනය රජයක ප්‍රමුඛතාවයක් වන බව කියා සිටි තානාපතිවරයා, ශ්‍රී ලංකාව තුළට ස්විට්සර්ලන්ත ආයෝජන වැඩි වශයෙන් ගෙන ඒමට කටයුතු කරන බව ද පවසා තිබේ. ඒ අනුව ඉදිරියේදී දෙරට අතර ක්‍රියාත්මක කළ හැකි ආයෝජන සහ අපනයන පිළිබඳවද මෙහිදී සාකච්ඡා වී තිබේ.

මේ අතර, පැහැදිලි නීති පනවමින් හා ඒවා බලාත්මක කරමින් රජය කොවිඩ්-19 වයිරසයට ප්‍රතිචාර දක්වන ආකාරය පිළිබඳව තානාපතිවරයා මෙහිදී අගය කර ඇත.

විශේෂයෙන්ම ශ්‍රී ලංකාව කොවිඩ්  වයිරසයට එරෙහිව කටයුතු කරන ආකාරය අගය කරන බව පවසා ඇති තානාපතිවරයා, මෙම ක්‍රියාදාමයේ ආරක්ෂිත බවක් තමන්ට දැනෙන බවත්  විශ්වාසය පළ කර තිබේ.

කොවිඩ්-19 වසංගත තත්ත්වය පැතිර යාම වැළැක්වීම සඳහා රජය දරන උත්සාහයට දායක වීම සඳහා ස්විට්සර්ලන්ත රජය  කටුනායක ගුවන්තොටුපලේ පී.සී.ආර්. (PCR) පරීක්ෂණ වේගවත් කිරීමේ පහසුකම් සපයන උපකරණ ශ්‍රී ලංකාවට ලබා දී ඇතැයිද අගමැති කාර්යාලය සඳහන් කරයි.

මීට අමතරව කොවිඩ් – 19 තත්ත්වය පහව ගිය වහාම ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය පුනර්ජීවනය කිරීමට සහයෝගීතාවය දක්වන බවත්, ඒ සඳහා ස්විට්සර්ලන්ත රජය ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනයට යටිතල පහසුකම් වැඩි දියුණු කිරීම, පුහුණුව ලබා දීම සහ විෂයමාලාව සංවර්ධනය කිරීම සඳහා තාක්ෂණික සහාය ලබා දීමටත් සූදානමින් සිටින බවත් මෙම හමුවේ දී අනාවරණය වූ බව පැවසෙයි.

Visits: 65