කොවිඩ්-19 මැද දෙවැනි දිනටත් රුපියල් බිලියනයක පිරිවැටුමක්

අද දිනයේදී (ඔක්තෝබර් 27) කොළඹ කොටස් හුවමාරුවේ සිදු වූ ගනුදෙනු සඳුදා දිනයට වඩා යම් සාර්ථක ආරම්භයක් ගත් බව කොටස් තැරැව්කාර සමාගම් සඳහන් කරයි. කොවිඩ්-19 වසංගතය සම්බන්ධයෙන් පෙන්නුම් කළ ධනාත්මක ආකල්පය ඒ සඳහා හේතු විය. කෙසේ වෙතත් දිනයේ පසු අවධියේදී ඉහළ ගිය රෝගීන් සංඛ්‍යාවත් සමගින් එහි යම් හීනවීයාමක් පෙන්නුම් කළ බවත් එම සමාගම් පවසයි.

ඒ අනුව මෙහිදී සමස්ත කොටස් මිල දර්ශකය (ASPI) අද දිනයේදී ඒකක 5,673.30ත් ඒකක 5,707.66ත් අතර අගයක විචලනයක් පෙන්වීය. එහිදී දිනය නිමා වනවිට එය ඒකක 5,680.28 ක් බවට පත්විය. ඊයේ (ඔක්තෝබර් 26) දිනයට සාපේක්ෂව එය ඒකක 10.95 ක් එනම් 0.19%ක පහළ යාමක් පෙන්නුම් කර ඇත.

අද දිනයේදී කිසිදු පෙර සිදු කළ සාකච්ඡාවලට අනුව සිදුවුණු  ගනුදෙනුවක් පිරිවැටුම සඳහා දායකත්වය ලබා දී නැති අතර, සමස්ත පිරිවැටුම සාමාන්‍ය ගනුදෙනු හරහා උත්පාදනය වී ඇත.

එසේම අද දිනයේ සිදු වූ සමස්ත ගනුදෙනු අතර සමාගම් 85ක මිල ගණන් ඉහළ ගිය අතර, සමාගම් 85ක මිල ගණන් පහළ යාම සිදු විය.

මෙහිදී සමස්ත කොටස් මිල දර්ශකයේ විචලනය සඳහා වැඩිම දායකත්වය සැපයූ සමාගම් වූයේ බුකිට් ඩරාහ් පීඑල්සී  BUKI  (+3.72), ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී JKH (+3.33), මෙල්ස්ටාකෝර්ප් පීඑල්සී MELS (+2.68),  සිලෝන් කෝල්ඩ් ස්ටෝර්ස් පීඑල්සී CCS (+2.12), සිලෝන් ටොබැකෝ කම්පැනි පීඑල්සී CTC (+1.89), ආසිටි හොස්පිටල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී ASIR (-2.09), කාර්සන්ස් කුම්බර්බැච් පීඑල්සී CARS (-1.85),  බ්‍රවුන් ඇන්ඩ් කම්පැනි පීඑල්සී BRWN (-1.76),  එල්ඕඑල්සී ෆිනෑන්ස් පීඑල්සී LOFC (-1.21)  සහ ඩිස්ටිලරීස් කම්පැනි ඔෆ් ශ්‍රී ලංකා පීඑල්සී DIST (-1.06) යනාදී සමාගම්ය.

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් දවසේ ගනුදෙනු නිමාවේදී ඒකක 2,260.97 ක අගයක් ගත් අතර, එය ඊයේ (ඔක්තෝබර් 26) දිනයට සාපේක්ෂව ඒකක 6.18 ක එනම් 0.27%ක ඉහළ යාමකි.

මෙහිදී දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 1.09ක් ලෙස සටහන්ව තිබූ අතර, එය ඊයේ (ඔක් 26දා) වාර්තා කළ රුපියල් බිලියන 1.01ට සාපේක්ෂව 8%ක ඉහළ යාමකි. එහිදී විදේශීය ආයෝජකයන් තවදුරටත් දිනයේ වැඩිම අලෙවිකරුවන් පිරිසක් බවට පත් විය.

ඒ අනුව මේ තත්ත්වයත් සමගම දිනයේ සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 2.47ක අගයකට පත්ව ඇති අතර එය මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අද දිනය දක්වා 13.23%ක අලාභයක් ලෙස සටහන්ව තිබේ.

මේ අතර, දිනයේ සමස්ත විදේශීය මිලදී ගැනීම්වල වටිනාකම රුපියල් මිලියන 17.5ක් ලෙස සටහන් විය. එසේම සමස්ත විදෙස් විකුණුම් රුපියල් මිලියන 228.3 ක අගයක් ගෙන තිබේ.

දිනයේ දළ විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 210.8 කි. ඒ අනුව වසරේ ආරම්භයේ සිට මේ දක්වා සමස්ත විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් බිලියන 44.61ක් ලෙස සටහන්ව තිබේ.

මෙහිදී මිලදී ගැනීම් යටතේ වැඩිම දායකත්වය හේමාස් හෝල්ඩිංග්ස් පීඑල්සී විසින් ලබා දී ඇති අතර, එම ආයෝජන ගලාඒම්හි වටිනාකම රුපියල් මිලියන 3.68කි. එසේම හැටන් නැෂනල් බැංකුව විකුණුම් යටතේ වැඩිම දායකත්වයක් ලබා දුන් අතර ඒ හරහා සිදුවූ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 80.1ක් ලෙස සටහන්ව ඇත.

මේ අතර දිනයේ සමස්ත පිරිවැටුමෙන් රුපියල් මිලියන 344ක් සඳහා නිෂ්පාදන භාණ්ඩ අංශය දායකත්වය ලබා දී ඇති අතර, එය ප්‍රතිශතයක් ලෙස 32% ක අගයක් ගෙන තිබේ. එසේම බැංකු සහ ප්‍රවාහන අංශය දෙවැනි සහ තෙවැනි ස්ථාන බවට පත්වෙමින් පිළිවෙලින් රුපියල් මිලියන 234ක සහ රුපියල් මිලියන 138ක දායකත්වයක් දිනයේ පිරිවැටුම සඳහා ලබා දී ඇත.

Visits: 165