“අනාගතයේ උදාවිය හැකි ඕනෑම අනපේක්ෂිත තත්වයකට මුහුණ දීමට සූදානම්” – කොළඹ කොටස් හුවමාරුව

අනාගතයේ උදාවිය හැකි ඕනෑම අනපේක්ෂිත තත්වයකට මුහුණ දීමට සුදානම් බවත්, ඒ සඳහා සිය කණ්ඩායම්  තවදුරටත් සැලසුම් සකස් කරමින් සිටින බවත් කොළඹ කොටස් හුවමාරුව සඳහන් කරයි.

නිරෝධායන ඇදිරි නීතිය බලපැවැත්වුණු ප්‍රදේශද ඇතුළත් කරගනිමින් කොළඹ කොටස් හුවමාරුව හා එහි අතරමැදි ගනුදෙනුකාර ආයතන තම ගනුදෙනු කටයුතු පසුගිය සඳුදා දිනයේ සිටම ඉතාම සාර්ථකව පවත්වාගෙන යන බව නිවේදනය කරමින් කොළඹ කොටස් හුවමාරුව මේ පිළිබඳ කරුණු අවධාරණය කර සිටියි.

පසුගියදා නව්‍යකරණයට ලක්වූ කොටස් හුවමාරුවෙහි ඩිජිටල්කරණ වැඩපිළිවෙල යටතේ, තැරව්කාර ආයතන හා එකාබද්ධව දුරස්ථ මට්ටමෙන් ක්‍රියාවට නැංවී ඇති අඛණ්ඩව ව්‍යාපාරික සේවා පවත්වා ගැනීමේ ක්‍රියාන්විතය හරහා මෙම කටයුතු සිදු වෙයි.

ඒ අනුව පසුගිය සඳුදා මෙම තාක්ෂණය යොදා ගනිමින් ඉතාමත් සාර්ථක ගනුදෙනු දිනයක් අවසන් කිරීමට හැකි වුණු බව කොළඹ කොටස් හුවමාරුව පවසයි.

“ආයෝජන ක්ෂේත්‍රයක් ලෙස කොටස් වෙළෙඳපොල ක්‍රියාකාරීත්වය වඩාත් සුමට හා පහසු ලෙස පවත්වාගෙන යාමට තාක්ෂණය භාවිතයට ගැනීම තවදුරටත් මේ හරහා අවධාරණය වී තිබේ.”  කොළඹ කොටස් හුවමාරුව සඳහන් කරයි.

ඒ අනුව කුමන තත්වයක් යටතේ වුවද අඛණ්ඩ ව්‍යාපාරික සේවා පවත්වාගෙන යාමේ ක්‍රියාවලිහි ප්‍රතිඵල ඵලදායී හා සාර්ථක වීම සම්බන්ධයෙන් කොළඹ කොටස් හුවමාරුව සතුව පවතින පද්ධතීන්හි හැකියාවේ ශක්තිමත්භාවය පිළිබඳව කොළඹ කොටස් හුවමාරුව හා තැරව්කාර සමාගම් සෑහීමකට පත්ව සිටින බවත් මෙම නිවේදනයේ සඳහන් වෙයි.

Visits: 431