DFCC බැංකුව හැව්ලොක් සිටි හා රුපියල් බිලියන 9ක එකඟතාවක්

හැව්ලොක් සිටි ව්‍යාපෘතිය තුළ මහල් 50කින් යුත් කාර්යාලය ගොඩනැගිල්ලක් සහ වර්ග අඩි 200,000ක ජාත්‍යන්තර මට්ටමේ සාප්පු සංකීර්ණයක් ඉදිකිරීම සඳහා DFCC බැංකුව හැව්ලොක් සිටි (පෞද්) සමාගම සමගින් රුපියල් බිලියන 9ක මූල්‍යමය එකඟතාවකට පැමිණි බව පවසයි.

කොළඹ නගරයේ ඉතාමත් වටිනා අක්කර 18ක භූමි ප්‍රමාණයක ශ්‍රී ලංකාවේ විශාලතම මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතිය ලෙස හැව්ලොක් සිටි ව්‍යාපෘතිය සිදු කෙරෙමින් පවතී. මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන හැව්ලොක් සිටි (පෞද්) සමාගම ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ලියාපදිංචි සමාගමක් වන අතර, එය ඕවර්සීස් රියැලිටි (සිලෝන්) පීඑල්සී සමාගමේ පූර්ණ හිමිකාරීත්වය සහිත සමාගමකි. කොළඹ ලෝක වෙළෙඳ  මධ්‍යස්ථානයද එම සමාගම වෙත හිමි අතර එය කළමනාකරණය සහ සංවර්ධනයද සමාගම විසින්ම සිදු කරයි.

ඒ අනුව රට තුළ ආර්ථික වශයෙන් වැදගත් ක්‍රමෝපායික ආයෝජන වෙත තවදුරටත් සහාය දක්වමින් DFCC බැංකුවත් මෙම ව්‍යාපෘතිය වෙත එකඟතාවට ලබා දුන් බව පවසයි. විශේෂයෙන්ම මෙම හැව්ලොක් සිටි මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතිය රටෙහි සාංගමික සහ සිල්ලර දේපළ වෙළෙඳාම් ක්ෂේත්‍රයේ වර්ධනය සඳහා දායකත්වය ලබා දෙනු ඇතැයි එම බැංකුව සඳහන් කරයි.

එසේම මේ වනවිට DFCC බැංකුව පෞද්ගලික සහ රාජ්‍ය අංශයේ අවකාශයන් තුළ දැවැන්ත ප්‍රමාණයේ මුදල් ගනුදෙනු සිදු කිරීමේ ඉදිරියෙන්ම සිටින බැංකුවක් ලෙස හඳුනාගෙන ඇති බවත්, මෙම මුදල් ගනුදෙනුව බැංකුව පිළිබඳව වන විශ්වාසය තවදුරටත් පිළිබිඹු කරන බවත් පවසයි.

මෙම මුදල් එකඟතාව පිළිබඳව අදහස් දක්වන DFCC බැංකුවේ අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී ලක්ෂ්මන් සිල්වා මහතා, “වර්තමාන මූල්‍යමය අස්ථාවරත්වය සහ අභියෝග හමුවේ වුවද DFCC බැංකුව තවදුරටත් බැංකු ක්ෂේත්‍රයේ ප්‍රධාන බලයක් ලෙස කටයුතු කරමින් යා යුතු ගමන් වෙත අවශ්‍ය  සහයෝගය සඳහා දායකත්වය ලබා දෙන ශක්තිමත් සමාගමක් බවට පෙන්නුම් කිරීමට මෙම විශාල ගනුදෙනුව ඉතා හොඳ අවස්ථාවක්.” යනුවෙන් පවසා සිටියි.

මෙහිදී අදහස් දක්වන DFCC බැංකුවේ උප සභාපති සහ සාංගමික බැංකු අංශයේ ප්‍රධානී ෂමින්ද්‍ර මර්සිලීන් මහතා, “ලංකාවේ විශාලතම දේපළ වෙළෙඳාම් සංවර්ධන සහ මෙහෙයුම් සිදු කරන සමාගමක් ලෙස හැව්ලොක් සිටි සහ ඔර්වසීස් රියැලිටි ගෘප් සමාගම සමගින් DFCC බැංකුව පවත්වාගෙන ආ දිගු කාලීන හවුල්කාරීත්වයේ තවත් ඉතාමත් වැදගත් අවස්ථාවක් ලෙස මෙය සලකනවා.” යනුවෙන් පවසා සිටියි.

Visits: 432