“ශ්‍රී ලංකාව ආරක්ෂිත රටක්” – දකුණු කොරියානු තනාපතිගෙන් එරට ආයෝජකයන්ට සහතිකයක්

ශ්‍රී ලංකාව ‘ආරක්ෂිත රටක්’ බවත්, එරට තුළ ආයෝජනය කිරීමට ඉදිරිපත්වන්නැයි කොරියානු ආයෝජකයන්ට ආරාධනා කරන බවත් ශ්‍රී ලංකාවේ ද කොරියානු තානාපති වුන්ජින් ජියොන්ග් මහතා පැවසූ බව අගමැති කාර්යාලය සඳහන් කරයි.

කොරියානු තානාපතිවරයා ඊයේ (23දා) දිනයේදී අරලියගහ මන්දිරයේදී අගමැති මහින්ද රාජපක්ෂ මහතා හමුවූ අවස්ථාවේදී මේ බව පවසා තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකාව සහ කොරියාව අතර ඉදිරියේදී ද්විපාර්ශවීය සහයෝගීතාව වර්ධනය කරගත හැකි ඍජු විදේශ ආයෝජන, අපනයන, සංචාරක සහ සංක්‍රමණික සේවකයන් පිළිබඳව මෙහිදී සාකච්ඡාවට ලක් වූ බව පැවසෙයි.

දශක කිහිපයකට පෙර කොරියාව මෙරට විශාලතම ආයෝජකයෙකි. මේ වන විට කොරියානු සමාගම් 115 කට වැඩි ප්‍රමාණයක් රට තුළ ක්‍රියාත්මක වන අතර දෙරට අතර සමස්ත වෙළඳාම පසුගිය වසරේදී ඇමරිකානු ඩොලර් මිලියන 327 ක් ඉක්මවිය. මෙම වෙළඳාම තවත් ඉහළ දැමීම සඳහා රටවල් දෙකෙහිම උනන්දුව වී තිබේ.

තානාපතිවරයාගේ මෙම හමුවට පෙර පසුගිය සතියේදී අගමැතිවරයා දකුණු කොරියානු අගමැති චුන්ග් සයි-කියුන් මහතා සමග දුරකතනය හරහාද සාකච්ඡාවක් පැවැත්වීය. එම ඇමතුම සිහිපත් කර ඇති අගමැති මහින්ද රාජපක්ෂ මහතා කොරියානු අගමැතිවරයාට ප්‍රථම වරට ශ්‍රී ලංකාවේ සංචාරය කරන ලෙස කළ ආරාධනය නැවත ඉදිරිපත් කර තිබේ.

කොරියානු අග්‍රාමාත්‍යවරයා ශ්‍රී ලංකාවට පැමිණීමට උනන්දුවක් දක්වන බව සඳහන් කළ තානාපති ජියොන්ග් මහතා, “අපි සැමවිටම සමීප මිතුරන් වන්නෙමු.”යැයිද මෙම හමුවේදී විශ්වාසය පළ කළ බව  සඳහන් වෙයි.

මේ අතර, පසුගිය මහ මැතිවරණයෙන් ලැබූ ජයග්‍රහණය පිළිබඳවද තානාපතිවරයා මෙම හමුවේදී අගමැති මහින්ද රාජපක්ෂ මහතාට සුබ පැතුම් එක් කර තිබේ. රජයට ලැබුණු ජනවරමට හේතු වූයේ විශ්වාසනීය බැඳීම බව ඔහු සඳහන් කර ඇත.

කොවිඩ් – 19 වසංගතය පාලනය කිරීම පිළිබඳව රජයට ප්‍රශංසා කර ඇති තානාපතිවරයා, කොවිඩ්-19 අර්බුදයට සාර්ථකව මුහුණ දීම සඳහා කොරියානු රජය ශ්‍රී ලංකාවට නිරත්තර සහයෝගය ලබා දෙන බවත් පවසා තිබේ.

Visits: 119