ASPI ඒකක 6,000 ඉක්මවීමේ අපේක්ෂාවන් තවත් ඈතට යයි

අද දිනයේදී (ඔක්තෝබර් 23) කොළඹ කොටස් හුවමාරුවේ ගනුදෙනු ආරම්භයත් සමගම ආයෝජකයන් අතර ගනුදෙනු සඳහා ඉතා හොඳ උනන්දුවක් පැවතීමත් සමගින්ම සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 90කින් ඉක්මන් වර්ධනයක් පෙන්නුම් කළ බව කොටස් තැරැව්කාර සමාගම් පවසයි. විශේෂයෙන්ම පෙර දින රාත්‍රියේදී රජය සිය 20 වැනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත පාර්ලිමේන්තුව තුන තුනෙන් දෙකක බහුතරයකින් ජයග්‍රහණය කිරීමත් සමගම ඇති වූ ස්ථාවර දේශපාලන වාතාවරණය ඊට හේතු විය. කෙසේ වෙතත් ආසන්න දින කිහිපයේදීම පැවැති කොරෝනා වසංගත අවදානම ඊයේ දිනයේදී දරුණු වීමත් සමගින්ම ආයෝජක විශ්වාසය කැපී පෙනෙන ලෙස කඩා වැටී මක් සිදු වුණු බවත් එම සමාගම් පවසයි. ඒ අනුව ඊයේ දිනයේදී සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 6,000ක් ඉක්මවනු ඇතැයි තබා තිබූ බලාපොරොත්තු තවත් කල් දැමීමට සිදුව තිබේ.  

ඒ අනුව මෙහිදී සමස්ත කොටස් මිල දර්ශකය (ASPI) අද දිනයේදී ඒකක 5,768.94ත් ඒකක 5,862.56ත් අතර අගයක විචලනයක් පෙන්වීය. එහිදී දිනය නිමා වනවිට එය ඒකක 5,768.94 ක් බවට පත්විය. ඊයේ (ඔක්තෝබර් 22) දිනයට සාපේක්ෂව එය ඒකක 2.95 ක් එනම් -0.05%ක පහළ යාමක් පෙන්නුම් කර ඇත.

අද දිනයේදී පෙර සිදු කළ සාකච්ඡාවලට අනුව සිදුවුණු ලයන් බෘවරි සිලෝන් පීඑල්සී සහ අමානා තකාෆුල් පීඑල්සී ගනුදෙනු සමස්ත පිටුවැටුම සඳහා 24%ක දායකත්වයක් ලබා දී තිබේ. ඒ අතරින් ලයන් බෘවරි සිලෝන් පීඑල්සී ගනුදෙනුව විදෙස් ආයෝජකයන් අතර සිදුවිය.

එසේම අද දිනයේ සිදු වූ සමස්ත ගනුදෙනු අතර සමාගම් 76ක මිල ගණන් ඉහළ ගිය අතර, සමාගම් 100ක මිල ගණන් පහළ යාම සිදු විය.

මෙහිදී සමස්ත කොටස් මිල දර්ශකයේ විචලනය සඳහා වැඩිම දායකත්වය සැපයූ සමාගම් වූයේ සිලෝන් ටොබැකෝ කම්පැනි පීඑල්සී  CTC (+2.84), නවලෝක හොස්පිටල්ස් පීඑල්සී NHL (+2.27), ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී JKH (+1.51),  ඩිල්මා සිලෝන් ටී කම්පැනි පීඑල්සී CTEA (+1.27), සම්පත් බැංකුව SAMP (+1.23), බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී BIL (-3.3), රිචඩ් පීරිස් ඇන්ඩ් කම්පැනි පීඑල්සී RICH (-1.87),  නෙස්ලේ ලංකා පීඑල්සී NEST (-1.79),  ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී SLTL (-1.66)  සහ බුකිට් ඩරාහ් පීඑල්සී BUKI (-1.22යනාදී සමාගම්ය.

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් දවසේ ගනුදෙනු නිමාවේදී ඒකක 2,297.88 ක අගයක් ගත් අතර, එය ඊයේ (ඔක්තෝබර් 22) දිනයට සාපේක්ෂව ඒකක 2.99 ක එනම් 0.13%ක ඉහළ යාමකි.

මෙහිදී දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 1.74ක් ලෙස සටහන්ව තිබූ අතර, එය ඊයේ (ඔක් 22දා) වාර්තා කළ රුපියල් බිලියන 2.27ට සාපේක්ෂව 23%ක පහළ යාමකි. එහිදී විදේශීය ආයෝජකයන් තවදුරටත් දිනයේ වැඩිම අලෙවිකරුවන් පිරිසක් බවට පත් විය.

ඒ අනුව මේ තත්ත්වයත් සමගම දිනයේ සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 2.51ක අගයකට පත්ව ඇති අතර එය මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අද දිනය දක්වා 11.93%ක අලාභයක් ලෙස සටහන්ව තිබේ.

මේ අතර, දිනයේ සමස්ත විදේශීය මිලදී ගැනීම්වල වටිනාකම රුපියල් මිලියන 350.16ක් ලෙස සටහන් විය. එසේම සමස්ත විදෙස් විකුණුම් රුපියල් මිලියන 354.57 ක අගයක් ගෙන තිබේ.

දිනයේ දළ විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 4.4 කි. ඒ අනුව වසරේ ආරම්භයේ සිට මේ දක්වා සමස්ත විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් බිලියන 44.38ක් ලෙස සටහන්ව තිබේ.

මෙහිදී මිලදී ගැනීම් යටතේ වැඩිම දායකත්වය සීඅයිසී හෝල්ඩිංග්ස් පීඑල්සී (ඡන්ද හිමි) විසින් ලබා දී ඇති අතර, එම ආයෝජන ගලාඒම්හි වටිනාකම රුපියල් මිලියන 8.44කි. එසේම ඩිප්ඩ් ප්‍රඩක්ට්ස්පීඑල්සී විකුණුම් යටතේ වැඩිම දායකත්වයක් ලබා දුන් අතර ඒ හරහා සිදුවූ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 6.35ක් ලෙස සටහන්ව ඇත.

මේ අතර දිනයේ සමස්ත පිරිවැටුමෙන් රුපියල් මිලියන 471ක් සඳහා ආහාර, පානවර්ග සහ දුම්කොළ නිෂ්පාදන අංශය දායකත්වය ලබා දී ඇති අතර, එය ප්‍රතිශතයක් ලෙස 27% ක අගයක් ගෙන තිබේ. එසේම ප්‍රවාහන අංශය සහ නිෂ්පාදන භාණ්ඩ අංශය දෙවැනි සහ තෙවැනි ස්ථාන බවට පත්වෙමින් පිළිවෙලින් රුපියල් මිලියන 324ක සහ රුපියල් මිලියන 284ක දායකත්වයක් දිනයේ පිරිවැටුම සඳහා ලබා දී ඇත.

Visits: 215