ලෝක බැංකු අධ්‍යක්ෂ හා මහ බැංකු අධිපති අතර හමුවක්

මාලදිවයින, නේපාලය සහ ශ්‍රී ලංකාව සඳහා වන ලෝක බැංකු අධ්‍යක්ෂ ෆාරිස් හඩාඩ්-සර්වොස් මහතා ඊයේ (23දා) දිනයේදී මහ බැංකු අධිපති දේශමාන්‍ය මහාචාර්ය ඩබ්. ඩී. ලක්ෂ්මන් මහතා හමු වූ බව මහ බැංකුව පවසයි. ශ්‍රී ලංකාව සඳහා වන ලෝක බැංකු කළමනාකාරිනි චියෝ කන්ඩා මහත්මියද මෙම අවස්ථාව සඳහා සම්බන්ධ වී තිබේ.

මෙහිදී දෙපාර්ශ්වයටම වැදගත් වන කරුණු රාශියක් සාකච්ඡා වූ බව මහ බැංකුව පවසයි. ඒ අනුව මහ බැංකු අධිපති ලක්ෂමන් මහතා විසින් නැගී එන සහ සංවර්ධනය වෙමින් පවතින රටවල, විශේෂයෙන්ම නිෂ්පාදනය සහ නවෝත්පාදන ධාරිතාව ශක්තිමත් කිරීම පිළිබඳව කරුණු දක්වා ඇත.

එමගින් එම රටවල ආර්ථික ස්ථායීතාව සහ කම්පනවලට ඔරොත්තු දීමේ හැකියාව ඉහළ නැංවීමට බහුපාර්ශ්වීය මූල්‍ය ආයතන මගින් ලබා දෙන සහය පිළිබඳව නැවත සලකා බැලීමේ අවශ්‍යතාවද හෙතෙම අවධාරණය කළ බව මහ බැංකුව සඳහන් කරයි.

එසේම ශ්‍රී ලංකාවේ විවිධ අංශවලට, විශේෂයෙන්ම අධ්‍යාපනය සහ සෞඛ්‍ය අංශ මෙන්ම අවිධිමත් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශ වෙත දැනට ලබා දී ඇති සහ අනාගතයේ දී ලබාදිය හැකි සහාය පිළිබඳවද මෙහිදී සාකච්ඡා  කෙරුණු බව ශ්‍රී ලංකා මහ බැංකුව වැඩි දුරටත් සඳහන් කරයි.

Visits: 80