එලායන්ස් ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී සභාපති ධුරය වෙනස් වෙයි

එලායන්ස් ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී සමාගමේ සභාපතිනිය ලෙස කටයුතු කළ රමණි නෙලුම් පොන්නම්බලම් මහත්මිය 2020 ඔක්තෝබර් 22 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි එම ධුරයෙන් ඉවත්ව යන බව සමාගම පවසයි. පුරා වසර නවයක කාලයක් ඇය එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ ස්වාධීන විධායක නොවන සාමාජිකාවක ලෙස කටයුතු කර තිබේ.

පොන්නම්බලම් මහත්මිය ධුරයෙන් ඉවත්ව  යන අවස්ථාව වනවිට ඇය සතුව එලායන්ස් ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී සමාගමේ කොටස් 2,712ක හිමිකාරීත්වයක් පැවැති බවත් සමාගම සඳහන් කරයි.

මේ අතර ඇගේ ඉවත්වීමත් සමගින්ම හිස්වන සභාපති ධුරය සඳහා ගෝපා සරෝජිනී තමාරා ධර්මකීර්ති-හේරත් මහත්මිය පත් කෙරී ඇතැයි සමාගම කොළඹ කොටස් හුවමාරුව වෙත දන්වා තිබේ. 2020 ඔක්තෝබර් 22 වැනිදා සිට මෙම නව පත් කිරීම බලාත්මක වෙයි.

සභාපති ධුරයට පත්වන අවස්ථාව වන විට සරෝජිනී මහත්මිය සතුව එලායන්ස් ෆිනෑන්ස් කම්පැනි පීඑල්සීහි කිසිදු කොටස්  හිමිකමක් නොමැති බවත්, ඉදිරියේදී ඇය කොටස් 100ක් මිලදී ගැනීමට කැමැත්ත පළ කර ඇති බවත් සමාගම වැඩිදුරටත් සඳහන් කරයි.

වසර 39කට අධික කාලයක් මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ අත්දැකීම් සහිත සරෝජිනී මහත්මිය මීට පෙර බැංකු නොවන මුදල් ආයතන දෙකක් පිහිටුවීම සඳහා සම්බන්ධ වෙමින් එම කර්මාන්තය වෙත කැපී පෙනෙන දායකත්වයක් ලබා දුන් තැනැත්තියක් බව සමාගම පවසයි. Fintrex Finance ආයතනයත් ඒ අතර පවතී.

සිය වෘත්තීය ජීවිතය තුළදී ඇය මෙරට මුල් පෙළේ බැංකු නොවන මූල්‍ය ආයතන කිහිපයකම ජ්‍යෙෂ්ට කළමනාකරණ ධුර දරා තිබේ. එහිදී ඇය උපදේශිකාවක ලෙසද කටයුතු කර ඇත. ඒ අනුව සරෝජිනී මහත්මිය සතුව මූල්‍ය ක්ෂේත්‍රය සම්බන්ධයෙන් වඩා පුළුල් අත්දැකීම් බහුවිධ දැක්මක් පවතින බවත් සමාගම සඳහන් කරයි.

Visits: 607