හරිස්චන්ද්‍ර මිල්ස් ආහාර සහ සබන් නිෂ්පාදන ආදායම් ඉහළට

2020 මාර්තු 31 වැනිදායින් අවසන් වූ 2019/20 මූල්‍ය වර්ෂය තුළදී හරිස්චන්ද්‍ර මිල්ස් පීඑල්සී සමාගමේ ආහාර සහ සබන් නිෂ්පාදන ආදායම ඊට පෙර වසරට සාපේක්ෂව පිළිවෙලින් 7%කින් සහ 8%කින් ඉහළ ගොස් ඇතැයි සමාගමේ සභාපති මැක්ස්වෙල් ඒ. බැස්ටියන්ස් මහතා පවසයි.

එම මූල්‍ය වර්ෂය සඳහා නිකුත් කෙරුණු සමාගමේ වාර්ෂික වාර්තාව වෙත සටහනක් තබමින් සභාපතිවරයා මේ කරුණු සඳහන් කර තිබේ. ඒ අනුව සිය සමාගමේ දළ ලාභය එම වසරේදී 3%කින් ඉහළ ගොස් ඇති බවත් හෙතෙම පවසයි. කෙසේ වෙතත් පෙර වසරට සාපේක්ෂව එම වසරේදී හරිස්චන්ද්‍ර මිල්ස් පීඑල්සීහි බදු පසු ලාභය 14%කින් පහත බැස ඇතැයිද බැස්ටියන්ස් මහතා සඳහන් කර සිටියි.

විශේෂයෙන්ම 2019 අප්‍රේල් මාසයේදී එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාරයත්, ඒ හේතුවෙන් ඇති වූ දේශපාලනික සහ ආර්ථික අස්ථාවරත්වයත් හේතුවෙන් සිය ව්‍යාපාර දැඩි පීඩාවට පත් වූ බවත් සභාපතිවරයා පවසයි.

“මෙම කරුණු හේතුවෙන් ඇති වූ තත්ත්වයන් අපගේ නිෂ්පාදන වෙත මෙන්ම පාරිභෝගික ඉල්ලුම වෙතත් බලපෑවා.” සභාපතිවරයා සඳහන් කරයි.     

කෙසේ වෙතත් පසුගිය අගෝස්තු 23 වැනිදා වන විට හරිස්චන්ද්‍ර මිල්ස් පීඑල්සී සමාගම මගින් සිය කොටස්හිමිකරුවන් වෙත එක් කොටසක් සඳහා රුපියල් 20 බැගින් වූ අතරමැදි ලාභාංශ ගෙවා ඇති බවත්, සිය අධ්‍යක්ෂ මණ්ඩලය මගින් දැනටමත් අවසන් ලාභාංශ ලෙස කොටසක් සඳහා රුපියල් 30ක මුදලක් ගෙවීමටත් අනුමැතිය ලබා දී තිබෙන බවත් සතුටින් දන්වා සිටින බව හෙතෙම පවසා සිටියි.

මේ අතර, කොවිඩ්-19 වසංගතය හේතුවෙන් සිය සමාගම වෙත සිදුව ඇති බලපෑම සම්බන්ධයෙන් තමන් සතුව මෙතෙක් සම්පූර්ණ අදහසක් නොමැති බවත් සභාපතිවරයා සඳහන් කරයි.

“මේ කොවිඩ්-19 වසංගතය හේතුවෙන් සමාගම වෙත අලුත් අභියෝග සහ අවිනිශ්චිතතා ඇතිව තිබෙනවා. මේ අවස්ථාව වනවිට මේ වසංගතය නිසා ආර්ථිකය වෙත සිදුව ඇති ප්‍රතිවිපාක සම්බන්ධයෙන් අපට සම්පූර්ණ වැටහීමක් නැහැ. ඒ වගේම එය සමාගම වෙත කෙසේ බලපා ඇත්දැයි යන්න ගැනත් දැනුවත්බවක් නැහැ. එහෙත් එම කාරණා මතු වන අවස්ථාවේදී ඒ සඳහා සුදුසු කටයුතු සිදු කරමින් එම අභියෝග වෙත සාර්ථකව මුහුණ දීමේ බලාපොරොත්තුවෙන් අප සිටිනවා.” සභාපතිවරයා වැඩිදුරටත් පවසයි.

Visits: 362