කොන්දේසිවලට යටත්ව ඉන්දියාවේ ICICI බැංකුවේ බලපත්‍රය අහෝසි කෙරේ

ඉන්දියාවේ අයිසීඅයිසීඅයි බැංකුව  (ICICI Bank) මගින් කොළඹ පිහිටුවා තිබූ සිය ශාඛාව හරහා සිදු කළ ව්‍යාපාර  කටයුතු අද (2020 ඔක්තෝබර් 23) දිනයේ සිට වසා දැමීමට සහ ඒ සඳහා නිකුත් කර ඇති බලපත්‍රය අවලංගු කිරීමට අනුමැතිය ලබා දුන් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

එම බැංකුව විසින් කරන ලද ඉල්ලීමකට අනුව සලකා බලා ශ්‍රී ලංකා  මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් 1988 අංක 30 දරන බැංකු පනතේ විධිවිධාන ප්‍රකාරව මෙම අනුමැතිය ලබා දී තිබේ. කෙසේ වෙතත් මෙහිදී නියමයන් හා කොන්දේසි කිහිපයකට යටත්ව අයිසීඅයිසීඅයි බැංකුවේ මෙම බලපත්‍රය අවලංගු කිරීමේ අනුමැතිය ලබා දුන් බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

“අයිසීඅයිසීඅයි බැංකුව මුදල් මණ්ඩලය විසින් පනවන ලද නියමයන් හා කොන්දේසිවලට අනුකූල වීම පිළිබඳව බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂක සෑහීමකට පත්වීමෙන් පසු බැංකු කටයුතු කරගෙන යාම සඳහා අයිසීඅයිසීඅයි බැංකුව වෙත නිකුත් කරන ලද බලපත්‍රය 2020 ඔක්තෝබර් 23 වැනි දින සිට අවලංගු කරන ලදී” මහ බැංකුව පවසයි.

අයිසීඅයිසීඅයි බැංකුවට අමතරව ඉන්දියාවේ ඇක්සිස් බැංකුව වෙතද සිය මෙහෙයුම් නවත්වා දැමීමට අනුමැතිය ලබා දී ඇතැයි මහ බැංකුව මීට පෙර සඳහන් කර තිබුණි.

පෙර ලිපිය
මෙරට ක්‍රියාත්මක ඉන්දියානු බැංකු දෙකක මෙහෙයුම් නවතා දැමීමට මහ බැංකු අනුමැතිය

Visits: 695