“කොවිඩ්-19 පුනරුද ණය සහනයේ රු. බිලියන 150ක සීමාව අතහැරියා” – මහ බැංකුව

කොවිඩ්-19 වසංගතයේ බලපෑම හේතුවෙන් පීඩාවට පත් වූ ව්‍යාපාර සඳහා ඉදිරිපත් කෙරුණු ‘සෞභාග්‍යා කොවිඩ්-19 පුනරුද සහන ණය පහසුකම’ යටතේ මුලින් අපේක්ෂා කළ රුපියල් බිලියන 150 සීමාව අත්හැර දැමීමට තීරණය කළ බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. පීඩාවට පත් ව්‍යාපාර විසින් කරන ලද ඉල්ලීම් සැලකිල්ලට ගෙන මෙම පියවර ගත් බව මහ බැංකුව සඳහන් කර සිටියි.

“පීඩාවට පත් ව්‍යාපාර විසින් කරන ලද ඉල්ලීම් සැලකිල්ලට ගෙන මුලින් අපේක්ෂිත රුපියල් බිලියන 150ක සීමාව පිළිබඳ නොසලකා අයදුම්පත් භාරගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් තීරණය කරන ලදී.” මහ බැංකුව පවසයි.

ඒ අනුව, පසුගිය අප්‍රේල් 01 වැනිදා සිට නිවේදනය කරන ලද නියමිත කාලය තුළදී පීඩාවට පත් වූ ව්‍යාපාර විසින්  ඉදිරිපත් කරනු ලැබූ සියලුම අයදුම්පත් සඳහා මෙම ණය යෝජනා ක්‍රමය යටතේ සහන ලබා දුන් බව මහ බැංකුව සඳහන් කරයි.

ශ්‍රී ලංකා මහ බැංකුව පවසන ආකාරයට මෙම ‘සෞභාග්‍යා කොවිඩ්-19 පුනරුද සහන ණය පහසුකම’ යටතේ මේ දක්වා ණය 61,907ක් සඳහා රුපියල් බිලියන 178ක් අනුමත කර තිබේ.

“2020 ඔක්තෝබර් 15 වැනිදා වන විට, කොවිඩ්-19 වසංගතයෙන් පීඩාවට පත් වූ ව්‍යාපාර විසින් එවන ලද ණය අයදුම්පත් 61,907ක් සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව මගින් අනුමැතිය ලබා දී ඇත. සෞභාග්‍යා කොවිඩ්-19 පුනරුද සහන ණය පහසුකමෙහි අදියර තුනම යටතේ ලියාපදිංචි කළ මෙම අයදුම්පත්වල වටිනාකම රුපියල් මිලියන 177,954 ක් විය.”

එසේම බලපත්‍ර ලාභී බැංකු විසින් දිවයින පුරා විසිරී සිටින පීඩාවට පත් වූ ප්‍රතිලාභීන් 45,582ක් වෙත රුපියල් මිලියන 133,192ක මුදල් ප්‍රමාණයක් මේ වන විට මුදා හැර ඇතැයිද මහ බැංකුව පවසයි.

මෙම ‘සෞභාග්‍යා කොවිඩ්-19 පුනරුද සහන’ ණය යෝජනා ක්‍රමයේ පළමු අදියර 2020 අප්‍රේල් මස 01 වැනි දින සිට ක්‍රියාත්මක විය. දෙවන හා තෙවැනි අදියර දෙකම 2020 ජුලි මස 01 වන දින සිට බලාත්මක වන පරිදි හඳුන්වාදී තිබේ.

“මෙම යෝජනා ක්‍රමවල අභිප්‍රාය වූයේ වාර්ෂිකව සියයට 4%ක පොළී අනුපාතිකයක් යටතේ කාරක ප්‍රාග්ධන ණය ලෙස රුපියල් බිලියන 150ක් සැපයීමයි. ණය සඳහා මාස හයක සහන කාලයක්ද ඇතුළත්ව මාස 24ක ණය ආපසු ගෙවීමේ කාලසීමාවක් හිමි විය.” මහ බැංකුව පවසයි.

මෙහිදී කොවිඩ්-19 වසංගතය හේතුවෙන් පීඩාවට පත් ස්වයං රැකියා හා තනි පුද්ගල ව්‍යාපාර ද ඇතුළු සියලු ව්‍යාපාර මෙම යෝජනා ක්‍රමවල ප්‍රතිලාභීන් විය.

Visits: 412