ෆෙයාර්වේ හෝල්ඩිංග්ස් CEO මල්ටි ෆිනෑන්ස් පීඑල්සී අධ්‍යක්ෂ මණ්ඩලයට

ෆෙයාර්වේ හෝල්ඩිංග්ස් (පෞද්) සමාගමේ සමූහ අධ්‍යක්ෂ/සමූහ ප්‍රධාන විධායක නිලධාරිවරයා ලෙස කටයුතු කරන ආචාර්ය පසාද් බන්දුජිත් කුලතුංග මහතා මල්ටි ෆිනෑන්ස් පීඑල්සී හි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස පත් කර ඇතැයි එම සමාගම නිවේදනයක් මගින් පවසයි.

ආචාර්ය කුලතුංග ජිනීවා නුවර සහ නිව් යෝර්ක් නුවර හෝර්බාර්ට් ඇන්ඩ් විලියම් ස්මිත් පාසල්හිදී භෞතිකවිද්‍යාව පිළිබඳව උගෙනුම ලබා තිබේ. එසේම ඔහු එක්සත් ජනපදයේ විස්කොන්සි හි පිහිටි ලෝරන්ස් විශ්වවිද්‍යාලයේ සහකාර මහාචාර්යවරයෙකුද වෙයි. මීට අමතරව ඔහු ඩෙන්මාර්කයේ කෝපන්හේගන් නුවර පිහිටි Danish Institute of Membrane Physics හි බාහිර විද්‍යාඥයෙකු ලෙසත් කටයුතු කරන බව පවසයි.

ඒ මහතා පරමාණුක සහ අණුක භෞතික විද්‍යාව පිළිබඳ ඕල්ඩ් ඩොමිනියන් විශ්වවිද්‍යාලයෙන් පශ්චාත් උපාධියක්ද හිමි කරගෙන ඇත. එසේම පසාද් කුලතුංග මහතා භෞතික විද්‍යාව සහ ගණිතය පිළිබඳ උපාධිය එක්සත් ජනපදයේ විස්කොන්සින් විශ්වවිද්‍යාලයෙන් ලබා ගෙන ඇතැයි මල්ටි ෆිනෑන්ස් පීඑල්සී සමාගම පවසයි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ ලියාපදිංචි මූල්‍ය සමාගමක් වන මල්ටි ෆිනෑන්ස් පීඑල්සී සමාගම ෆෙයාර්වේ හෝල්ඩිංග්ස් (පෞද්) සමාගමට අයත් සමාගමකි. 1974 වසරේදී සමාගමක් ලෙස පිහටවුණු මල්ටි ෆිනෑන්ස් සමාගම 2011 වසරේදී කොළඹ කොටස් වෙළෙඳ පොළේ ලැයිස්තුගතවී තිබේ. 2017 වසරේ පෙබරවාරි මාසයේදී ෆෙයාර්වේ හෝල්ඩිංග්ස් සමාගම මගින් එය අත්පත් කර ගෙන ඇත.

මල්ටි ෆිනෑන්ස් සමාගම මේ වනවිට ස්ථාවර තැන්පතු, ඉතිරි කිරීම්, ලීසිං, ව්‍යාපාරික ණය, රන් ණය සහ ක්ෂුද්‍ර මූල්‍ය ඇතුළු සේවා සපයයි.

ක්ෂේත්‍ර රැසක් පුරා විහිදී ඇති ෆෙයාර්වේ හෝල්ඩිංග්ස් (පෞද්) සමාගම දේපළ වෙළෙදාම්, හෝටල්, මූල්‍ය සේවා, කසල කළමනාකරණය, ගුවන් සේවා, ගෘහ අලංකරණ සේවා, ගුවන්සේවා සහ ජෛවතාක්ෂණික යන ක්ෂේත්‍රයන්හි සමාගම් පවත්වාගෙන යයි.

මල්ටි ෆිනෑන්ස් පීඑල්සී සමාගමට අමතරව ලක්දෙරණ ඉන්වෙස්ට්මන්ට්ස් සමාගමද ෆෙයාර්වේ හෝල්ඩිංග්ස් (පෞද්) සමාගමේ මූල්‍ය සේවා සපයන සමාගම් අතර පවතී.

Visits: 243