DFCC ණයකර කොටස් මිලියන 50න් මිලියන 38.9ක් දින තුනකදී අලෙවි වෙලා

රුපියල්  බිලියන 7ක අරමුදල් සම්පාදනයක් වෙනුවෙන් ඩී.එෆ්.සී.සී. බැංකුව පසුගිය ඔක්තෝබර් 12 වැනිදා නිකුත් කිරීම ආරම්භ කළ ණයකර කොටස් මිලියන 50ක මූලික ණයකර නිකුතුව මිලදී ගැනීම සඳහා දින තුනකදී ඉල්ලුම් පත්‍ර 44ක් ඉදිරිපත්ව ඇතැයි බැංකුව පවසයි.

2020 ඔක්තෝබර් 15 වැනිදා (පෙරේදා) පස්වරු 4.30 වන විට පවතින තත්ත්වය පිළිබඳව සඳහන් කරමින් බැංකුව එම කරුණු අනාවරණය කරයි. ඊයේ (16දා) කොපමණ මිලදී ගැනීමක් සිදු කර ඇත්ද යන්න පිළිබඳව අනාවරණය කෙරී නැති අතර, මීළග ණය කර මිලදී ගැනීමේ අවස්ථාව ලබන සඳුදා උදා වෙයි.

ඒ අනුව මෙහිදී මූලික නිකුතුව යටතේ කොළඹ කොටස් හුවමාරුව වෙත ඉදිරිපත් කළ ණයකර මිලියන 50 න් මිලියන 38.9ක් (39,810,000ක්) මිලදී ගැනීමට එම ඉල්ලුම්කරුවන් කටයුතු යොදා ඇත. මෙහිදී එක් ණයකරයක් රුපියල් 100 බැගින් මිල කෙරී ඇති අතර මේ දක්වා බැංකුව මගින් රුපියල් බිලියන 3.9ක (3,981,000,000ක) අරමුදලක් සපයා ගැනීමට සමත්ව සිටින බවත් පවසයි.

මෙම ණය කර Type A සහ Type B ලෙස වර්ග දෙකක් යටතේ ඉදිරිපත් විය. ඒ අතරින් Type A යටතේ වූ ණයකර නිකුතුව වසර පහක කාලයක් සඳහා වන අතර එහිදී වාර්ෂික පොළී අනුපාතය 9%කි. එසේම Type B යටතේ වූ ණයකර නිකුතුව වසර 7ක කාලයක් සඳහා වන අතර එහි වාර්ෂික පොළී අනුපාතය 9.25% කි.

ඒ අනුව ඉදිරිපත් වූ ඉල්ලුම්කරුවන්ගෙන් 41 දෙනෙකු Type A ණයකර කොටස් මිලදී ගැනීමට යොමු වී ඇති අතර, ඔවුන් මිලදී ගෙන ඇති ණයකර ප්‍රමාණය මිලියන 37කි (37,760,000). එහි වටිනාකම රුපියල් බිලියන 3.7 ක් (3,776,000,000) වෙයි.

එසේම Type B ණයකර කොටස් මිලදී ගැනීමට ඉල්ලුම්කරුවන් 3 දෙනෙකු  ඉදිරිපත්ව ඇත. එහිදී ණයකර මිලියන 2ක්  (2,050,000ක්) අලෙවි වී ඇති අතර, එහි වටිනාකම රුපියල් මිලියන 205 ක් (205,000,000 කි).

මෙම මූලික ණයකර නිකුතුව පෙන්නුම් කරන අධි ඉල්ලුමත් සමගින්ම තවත් අමතර ණයකර මිලියන 20ක් නිකුත් කිරීමටද ඩී.එෆ්.සී.සී. බැංකුව තීරණය කර ඇත. එයද එක් ණයකර කොටසක් රුපියල් 100 බැගින් මිල කර ඇත. මේ අවස්ථාවන් දෙක හරහා සම්පාදනය කර ගැනීමට සැලසුම් කර ඇති සමස්ත අරමුදල රුපියල් බිලියන 7 කි.

Visits: 333