හැරීගේ DCSL පසුගිය වසරේදී රුපියල් බිලියන 58ක සුරාබදු ගෙවලා

ඩිස්ටිලරීස් කම්පැනි ශ්‍රී ලංකා පීඑල්සී සමාගම මගින් 2020 මාර්තු 31 වැනිදායින් අවසන් වූ මූල්‍ය වර්ෂයේදී රුපියල් බිලියන 58ක බදු ගෙවීමක් සිදු කර ඇතැයි පවසයි. 2019/2020 මූල්‍ය වර්ෂය සඳහා වූ වාර්ෂික වාර්තාව ඉදිරිපත් කරමින් එම සමාගම මේ කරුණු සඳහන් කර සිටියි.

මෙහිදී වසර සඳහා සමාගම හිමි කරගෙන ඇති බදු පසු ලාභය රුපියල් බිලියන 5.8 කි. එය 2018/2019 වසර සඳහා සමාගම හිමිකර ගත් බදු පසු ලාභය වූ රුපියල් බිලියන 5.4ට සාපේක්ෂව 7%ක වර්ධනයකි. එසේම මේ වසරේදී සමාගමේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 82ක් ලෙසත් සටහන් වෙයි.

පසුගිය වසරේ සිය සාර්ථකත්වය පිළිබඳව සිය කොටස් හිමිකරුවන් වෙත අදහස් දක්වන සමාගමේ සභාපති හැරී ජයවර්ධන මහතා, සමාගම විවිධ අභියෝග රැසක්ම මැද මෙම තත්ත්වය ළගා කරගත් බව පවසා සිටියි. එහිදී පාස්කු ඉරිදා ප්‍රහාරය, ස්වාභාවික විපත්, දේශපාලන අස්ථාවරත්වය සහ මෙම කර්මාන්තය තුළ වූ විවිධ අසාධාරණකම් සහ සදාචාරසම්පන්න නොවන ක්‍රමවේදද ඒ අතර වූ බව ඔහු සඳහන් කරයි.

එසේම කොවිඩ්-19 වසංගතයේ බලපෑම එම මූල්‍ය වර්ෂයේ අවසන් අවදියේදී බලපෑ බවත්, එය ලබන වසරේ ප්‍රතිඵල වෙත බලපානු ඇති බවත් සභාපතිවරයා අවධාරණය කරයි.

කෙසේ වෙතත් සිය ලාභාංශ ගෙවීමේ ප්‍රතිපත්තිය යටතේ තම අධ්‍යක්ෂ මණ්ඩලය විසින් එම වසර සඳහා අවස්ථා දෙකකදී කොටසක් සඳහා රුපියල් 1.45ක් බැගින් ලාභාංශ ගෙවූ බවත් ඔහු සඳහන් කරයි.

“සමාගම දැනටමත් ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරිවරුන්ගේ ආයතනය සහ ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව එක්ව සකස් කර ඇති සාංගමික පාලනයේ ක්‍රමවේද සියල්ලම පාහේ ඉතාමත් උපරිම ක්‍රියාවට නැංවීමට කටයුතු යොදා තිබෙන බවත් සියලුම කොටස් හිමියන් වෙත දන්වා සිටින්නට කැමතියි.”

ඒ අනුව තවදුරටත් සිය සමාගමේ ශක්තිය පිළිබඳව විශ්වාසය තබා ඇති කොටස් හිමිකරුවන් සහ හවුල්කරුවන් වෙත ස්තූතිය මෙන්ම, සිය නිෂ්පාදන පිළිබඳව ඉදිරියටත් අනුග්‍රහය දක්වන දිගුකාලීන පාරිභෝගිකයන් වෙතත් සිය ආචාරයද පුද කරන බව සභාපතිවරයා මෙහිදී සඳහන් කර සිටියි.

Visits: 357