විදෙස් ආයෝජන පිටතට ගලායාම් අඩුවීමෙන් විශාල සමාගම්වල පීඩනය අඩුවෙයි

අද (ඔක්තෝබර් 15) දිනයේදී කොළඹ කොටස් හුවමාරුවේ සිදුවුණු ගනුදෙනුවලදී දර්ශක අගයන් වඩාත් ශක්තිමත් සහ ස්ථාවර තත්ත්වයක් පෙන්නුම් කළ බව කොටස් තැරැව්කාර සමාගම් පවසයි. විශේෂයෙන්ම ආසන්න දින දෙකේදී පෙන්නුම් කළ දර්ශක  හැසිරීම් හා සැලකීමේදී මේ තත්ත්වය කැපී පෙනෙන බව ඔවුන් සඳහන් කරයි. එසේම කොටස් ගැනුම්බරතාවද පෙර දිනවලදී මෙන් එලෙසින්ම පැවතුණි. මේ අතර විදෙස් ආයෝජන පිටතට ගලායෑම් කැපී පෙනෙන ලෙස 96.3%කින්ම අඩුවීම විශාල ප්‍රාග්ධන සහිත සමාගම් තුළ වූ පීඩනය යම් තරමකින් ලිහිල් කිරීමට හේතු වූ බවද එම තැරැව්කාර සමාගම් සඳහන් කරයි.

මෙහිදී සමස්ත කොටස් මිල දර්ශකය (ASPI) අද දිනයේදී ඒකක 5,896.59 ත් ඒකක 5,940.39 ත් අතර අගයක විචලනයක් පෙන්වීය. එහිදී දිනය නිමා වනවිට එය ඒකක 5,920.00 ක් බවට පත්විය. ඒ අනුව ඊයේ (ඔක්තෝබර් 14) දිනයට සාපේක්ෂව එය ඒකක 29.87 ක් එනම් 0.51%ක ඉහළ යාමක් පෙන්නුම් කර ඇත.

අද දිනයේදී පෙර සිදු කළ සාකච්ඡාවලට අනුව කිසිදු ගනුදෙනුවක් සිදු නොවූ බව තැරැව්කාර සමාගම් සඳහන් කරයි.

එසේම අද දිනයේ සිදු වූ සමස්ත ගනුදෙනු අතර සමාගම් 108ක මිල ගණන් ඉහළ ගිය අතර, සමාගම් 64ක මිල ගණන් පහළ යාම සිදු විය.

මෙහිදී සමස්ත කොටස් මිල දර්ශකයේ විචලනය සඳහා වැඩිම දායකත්වය සැපයූ සමාගම් වූයේ ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී JHK (+6.36), එක්ස්පෝ ලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී EXPO (+5.84), හේලීස් පීඑල්සී HAYL (+5.55),  මෙල්ස්ටාකෝර්ප් පීඑල්සී MELS (+2.95), සෙන්ට්‍රල් ෆිනෑන්ස් පීඑල්සී CFIN (+2.88),  ඩිස්ටිලරීක් කම්පැනි ඔෆ් ශ්‍රී ලංකා පීඑල්සී DIST (-4.23), කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී CLC (-2.93),  බුකිට් ඩරාහ් පීඑල්සී BUKI (-2.81), ලබන් බෘවරී සිලෝන් පීඑල්සී LION (-2.1)  සහ ඩයලොග් ආසිආටා පීඑල්සී DIAL (-1.88යනාදී සමාගම්ය.

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් දවසේ ගනුදෙනු නිමාවේදී ඒකක 2,366.14 ක අගයක් ගත් අතර, එය ඊයේ (ඔක්තෝබර් 14) දිනයට සාපේක්ෂව ඒකක 19.31 ක එනම් 0.82%ක ඉහළ යාමකි.

මෙහිදී දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 3.47ක් ලෙස සටහන්ව තිබූ අතර, එය ඊයේ (ඔක් 14දා) වාර්තා කළ රුපියල් බිලියන 5.51 ට සාපේක්ෂව 37%ක පහළ වැටීමකි. එහිදී විදේශීය ආයෝජකයන් තවදුරටත් දිනයේ වැඩිම අලෙවිකරුවන් පිරිසක් බවට පත් විය.

ඒ අනුව මේ තත්ත්වයත් සමගම දිනයේ සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 2.57ක අගයකට පත්ව ඇති අතර එය මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අද දිනය දක්වා 9.62%ක අලාභයක් ලෙස සටහන්ව තිබේ.

මේ අතර, දිනයේ සමස්ත විදේශීය මිලදී ගැනීම්වල වටිනාකම රුපියල් මිලියන 50.33ක් ලෙස සටහන් විය. එසේම සමස්ත විදෙස් විකුණුම් රුපියල් මිලියන 79.93 ක අගයක් ගෙන තිබේ.

දිනයේ දළ විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 29.6 කි. ඒ අනුව වසරේ ආරම්භයේ සිට මේ දක්වා සමස්ත විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් බිලියන 43.84ක් ලෙස සටහන්ව තිබේ.

මෙහිදී මිලදී ගැනීම් යටතේ වැඩිම දායකත්වය වටවල ප්ලාන්ටේෂන්ස් පීඑල්සී විසින් ලබා දී ඇති අතර, එම ආයෝජන ගලාඒම්හි වටිනාකම රුපියල් මිලියන 7.64කි. එසේම ටෝකියෝ සිමෙන්ට් කම්පැනි ලංකා පීඑල්සී (ඡන්ද හිමි) විකුණුම් යටතේ වැඩිම දායකත්වයක් ලබා දුන් අතර ඒ හරහා සිදුවූ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 9.29ක් ලෙස සටහන්ව ඇත.

මේ අතර දිනයේ සමස්ත පිරිවැටුමෙන් රුපියල් මිලියන 858ක් සඳහා නිෂ්පාදන අමුද්‍රව්‍ය අංශය දායකත්වය ලබා දී ඇති අතර, එය ප්‍රතිශතයක් ලෙස 25% ක අගයක් ගෙන තිබේ. එසේම ප්‍රවාහන සහ ප්‍රාග්ධන භාණ්ඩ සමාගම් අංශය දෙවැනි සහ තෙවැනි ස්ථාන බවට පත්වෙමින් පිළිවෙලින් රුපියල් මිලියන 633ක සහ රුපියල් මිලියන 576ක දායකත්වයක් දිනයේ පිරිවැටුම සඳහා ලබා දී ඇත.

Visits: 308