දිලිත් Steuart Tea සඳහා නවතම තේ ඇසුරුම් කම්හලකට මුල් ගල් තියයි

මෙරට පැරණිතම සමාගම ලෙස සැලකෙන ජෝර්ජ් ස්ටුවර්ට් සමාගම යටතේ ක්‍රියාත්මක Steuart Tea සමාගම වෙනුවෙන් නවතම තේ සැකසුම් හා ඇසුරුම්කරණ කම්හලක් ඇරඹීමට මුල් ගල් තැබීමට ජෝර්ජ් ස්ටුවර්ට් සමාගමේ සභාපති දිලිත් ජයවීර මහතා ඊයේ කටයුතු යොදා තිබේ.

කැළණිමුල්ල ප්‍රදේශයේ ඉදිවන මෙම කර්මාන්තශාලාව සඳහා ආයෝජනය ඩොලර් මිලියන 10ක් බව පැවසෙයි.

මේ නව පිවිසීම සම්බන්ධයෙන් අදහස් දක්වන දිලිත් ජයවීර මහතා, විශේෂයෙන්ම ලාංකීය ආර්ථිකය ගොඩ නැගිය හැක්කේ අගය එකතු කළ අපනයන නිෂ්පාදනයන් බිහි කිරීමෙන් පමණක් බව පවසා සිටියි. එහිදී නව නිෂ්පාදන හඳුන්වා දෙමින් නව රැකියා අවස්ථා ජනිත කරමින් සිය ජෝර්ජ් ස්ටුවර්ට් නාමය ඉදිරියට ගෙන යෑම සිය අරමුණ බවත් ඔහු සඳහන් කරයි.

ශ්‍රී ලංකාවේ පැරණිතම සමාගම ලෙස ජෝර්ජ් ස්ටුවර්ට් සමාගම මේ වසරේදී අවුරුදු 185ක් සපුරයි. ඒ අනුව මේ වසරේදී මෙලෙස තවත් වැදගත් පියවරක් ඉදිරියට තැබීමට හැකිවීම බලවත් සතුටක් බවද ඔහුගේ අදහස වී තිබේ.

“තේ සැකසුම් කර්මාන්තයට මා ඇලුම් කරන්නේ, ලංකාවේ විවිධ ප්‍රදේශවල වැවෙන ගුණාත්මක තේ, මුහු කිරීමෙන් රසය සුවඳ සහ ගුණය සියල්ල රැඳී අපූරුම තේ කෝප්පයක් නිර්මාණය කිරීම අපූරු කලාවක් නිසා.” යනුවෙන් ඔහු මෙහිදී වැඩිදුරටත් සඳහන් කර තිබේ.

Visits: 352