ETI පිළිබඳ ජනපති කොමිෂන් සභා නිර්දේශ ක්‍රියාත්මක කිරිමට අනුමැතිය

එදිරිසිංහ ට්‍රස්ට් ඉන්වෙස්ට්මන්ට් ලිමිටඩ් (ETI) සමාගම සම්බන්ධයෙන් සිදු වූයේ යැයි කියන වැරදි ක්‍රියා, අක්‍රමිකතා, අයථා ක්‍රියා, විමර්ෂණය කිරීම, පරීක්ෂා කිරීම හා වාර්තා කිරීම සඳහා පත් කෙරුණු ජනාධිපති කොමිසම  හරහා නිර්දේශකරන ලද කරුණු සඳහා කඩිනමින් නීතිමය පියවර ගැනීමට කැබිනට් අනුමැතිය හිමිව ඇතැයි වාර්තා වෙයි.

අද පෙරවරුවේදී පැවැත්වුණු කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා විසින් මේ පිළිබඳව අනාවරණය කරන ලදී.

ඒ අනුව අදාළ නීතිමය ක්‍රියාමාර්ග ගැනීම පිණිස එම නිර්දේශ නීතිපතිවරයාට යොමු කිරීමට අනුමැතිය හිමි වූ බව ඒ මහතා මෙහිදී සඳහන් කර සිටියේය.

ඒ අනුව මෙම ETI ගනුදෙනුව හරහා සමාගම් නීතිය, මූල්‍ය සමාගම් පිළිබඳ නීතිය, මුදල් විශුද්ධිකරණ පනත, මූල්‍ය තොරතුරු වාර්තා කිරීමේ පනත, ඉඩම් විදේශිකයන්ට පැවරීමේ නීතිමය රාමුව මෙන්ම, දණ්ඩ නීති සංග්‍රහය යටතේ වන වැරදි රාශියක් සිදු වී ඇති බවට කොමිෂම මගින් පෙන්වා දී තිබේ.

විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටී.චිත්‍රසිරි මැතිතුමාගේ සභාපතිත්වයෙන් මෙම ජනාධිපති කොමිසම ක්‍රියාත්මක විය. ETI සමාගම මෙන්ම එදිරිසිංහ සමූහ ව්‍යාපාරය යටතේ පැවැති ස්වර්ණමහල් ෆයිනෑන්ෂියල් සර්විසස් යන සමාගම තුළ සිදුවූ අක්‍රමිකතා සෙවීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් 2020-01-09 දින මෙම කමිටුව පත් කෙරිණි.

ඒ අනුව එම කමිටුව මගින් සිදුකළ නිරීක්ෂණ සහ නිර්දේශ ඇතුළත් වාර්තාව පසුගිය 2020-10-06 දින ජනපතිවරයා වෙත ඉදිරිපත් කෙරිණි.

Visits: 107