ශ්‍රී ලංකාවේ නිෂ්පාදන හා සේවා සඳහා ඔස්ට්‍රේලියාවේ වෙළෙඳ පොළ සොයයි

ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර ශ්‍රී ලංකා කොන්සල් ජෙනරාල් කාර්යාලය, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සමගින් එක්ව ^ශ්‍රී ලාංකික නිෂ්පාදන සහ සේවා සඳහා ඔස්ට්‍රේලියාව තුළ වෙළෙඳ පොළ දියුණු කිරීම^ යන මැයෙන් අන්තර්ජාල වෙබිනාර් සාකච්ඡාවක් පැවැත්වූ බව විදේශ අමාත්‍යාංශය පවසයි.

දැනටමත් ඔස්ට්‍රේලියාව වෙත අපනයන සිදුකරන ශ්‍රී ලාංකික අපනයනකරුවන් වෙත ඔස්ට්‍රේලියාවේ පවතින වෙළෙඳ පොළ ප්‍රවණතා පිළිබඳ තොරතුරු යාවත්කාලීන කිරිම මෙම වෙබිනාර් වැඩසටහනේ අරමුණ වී තිබේ. එසේම ඔස්ට්‍රේලියාව වෙත සිය නිෂ්පාදන අපනයන පුළුල් කිරීම සඳහා අපේක්ෂා කරන නව සමාගම් වෙනුවෙන් අවස්ථාව ලබා දීමත් එහි අරමුණ වී ඇත.

විශේෂයෙන්ම නව කොරෝනා වසංගතය හේතුවෙන් ඔස්ට්‍රේලියානු වෙළෙඳ පොළ ඉලක්ක කරගනිමින් සාම්ප්‍රදායික ප්‍රවර්ධන වැඩසටහන් සිදු කිරීමට නොහැකි වීම සම්බන්ධයෙන් මෙම අවස්ථාව සංවිධානය කෙරුණු බව විදේශ අමාත්‍යාංශය සඳහන් කරයි.

මෙහිදී ශ්‍රී ලාංකික අපනයන සමාගම් 75ක් මෙම වෙබිනාර් සාකච්ඡාව සඳහා සම්බන්ධ වී ඇත. අපනයන සංවර්ධන  මණ්ඩලයේ අධ්‍යක්ෂිකා/වෙළෙඳපොළ සංවර්ධන අනෝමා ප්‍රේමතිලක මහත්මිය විසින් මෙම අන්තර්ජාල සාකච්ඡාව මෙහෙයවා තිබේ.

මෙහිදී සාකච්ඡාව අරඹමින් අදහස් දක්වා ඇති සිඩ්නි නුවර ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් ලක්ෂමන් හුලුගල්ල මහතා ඔස්ට්‍රේලියාවත් සමගින් වෙළෙඳාම සහ ආයෝජනය සම්බන්ධයෙන් අතිශය වැදගත් බව පවසා ඇත. එසේම කොවිඩ්19 වසංගතය මඟහරවමින් දෙරට අතර වෙළෙඳ සාහ ආර්ථික සහයෝගිතාව වර්ධනය කරගැනීමේ අවශ්‍යතාව පිළිබඳවද ඔහු සඳහන් කර ඇත.

ඔස්ට්‍රේලියාවේ මුහුදු ආහාර අපනයනකරුවන්ගේ සංගමය (SIAA) හි විධායක නිලධාරී මාර්ක් බෝල්ටර් මෙහිදී අදහස් දක්වමින්, ඔස්ට්‍රේලියාවේ වෙළෙඳ පොළ ප්‍රවණතා ශ්‍රී ලංකාවේ අපනයනකරුවන් වෙත මුහුදු ආහාර නිෂ්පාදන අපනයනය සඳහා අවස්ථාවක් උදා කර දෙන බව පවසා තිබේ.

එසේම ඔස්ට්‍රේලියාව මේවනවිට ලොව විශාලතම මුහුදු ආහාර නිෂ්පාදකයා සහ අපනයනකරුවන් පමණක් නොව ලොව රටවල් කිහිපයකින්ම මුහුදු ආහාර නිෂ්පාදන ආනයනය කරන මුල් පෙලේ රටක් ලෙසද සැලකෙන බව ඔහු සඳහන් කර ඇත.

Visits: 87