හඳුන්කූරු සඳහා උණ බට කූරු ආනයනයට බදු සහන

හඳුන්කූරු නිෂ්පාදනය සඳහා අමුද්‍රව්‍යයක් වශයෙන් යොදා ගන්නා විශේෂිත උණ බට කූරු ආනයනය සඳහා බදු සහනයක් ලබාදීමට රජය තීරණය කර ඇතැයි සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක කෙහෙලිය රඹුක්වැල්ල මහතා අද පෙරවරුවේදී පැවැති කැබිනට් මාධ්‍ය හමුවේදී සඳහන් කළේය.

මෙම උණ බට කූරු නියමිත ප්‍රමිතියෙන් යුක්තව අවශ්‍ය ප්‍රමාණයට දේශීයව නිෂ්පාදනය කරගන්නා තෙක් මෙම හඳුන්කූරු නිෂ්පාදනයට අවශ්‍ය උණ බට කුරූ මෙලෙස විදේශ රටවලින් ආනයනය කිරීමට කටයුතු කරන බව අමාත්‍යවරයා පවසා සිටියි.

මේ අතර මෙම හඳුන්කූරු නිෂ්පාදනයට අවශ්‍ය මෙම විශේෂිත උණ බට කූරු සපයා ගැනීම සම්බන්ධයෙන් ගැටලුවක් පවතින බවත්, එම ගැටලුවට විසඳා ගැනීමේ ක්‍රමයක් ලෙස මෙම ආනයන බදු සහනය ලබා දෙන ලෙස කර්මාන්ත අමාත්‍යවරයා මෙම යෝජනාව ඉදිරිපත් කර තිබේ.

එසේම මෙම විශේෂිත උණ ශාකය (ගල් බම්බු – Bambusa aspera) පවතින ප්‍රදේශ හඳනාගැනීම හා එම ශාකය වගා කළ හැකි ඉඩම් හඳුනාගෙන වගා කිරීමේ කටයුතු සිදු කිරීම සඳහා, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව සහ මහවැලි අධිකාරිය මගින් අවශ්‍ය පියවර ගැනීමට කටයුතු යොදා ඇතැයිද මෙම මාධ්‍ය හමුවේදී අනාවරණය කෙරිණි.

එසේම හඳුන්කූරු නිෂ්පාදනය සඳහා වැඩිදියුණු කළ තාක්ෂණික උපාංග හඳුන්වාදීම වෙනුවෙන් කාර්මික සංවර්ධන මණ්ඩලයේ දායකත්වය ලබා ගැනීමටද කර්මාන්ත අමාත්‍යවරයා යෝජනා ඉදිරිපත් කර තිබේ.

Visits: 82