අධිවේගී මාර්ග සඳහා රජය යටතේ ආයෝජන සමාගමක්

සියයට සීයක්ම රජය සතු සමාගමක් ලෙස අධිවේගී මාර්ග සඳහා වෙනම ආයෝජන සමාගමක් ස්ථාපිත කිරීම සඳහා කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි. අද පෙරවරුවේදී පැවැත්වෙන කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ඒ මහතා මේ අදහස් පළ කළේය.

විශේෂයෙන්ම මධ්‍යම අධිවේගී මාර්ගයේ වැඩ අවසන් කිරීම සහ රුවන්පුර අධිවේගී මාර්ගයේ වැඩ ආරම්භ කිරීම සහ කැලනියේ සිට අතුරුගිරිය දක්වා කුලුණු මත දිවෙන අධිවේගී මාර්ගයේ වැඩ අවසන් කිරීම සඳහා කැබිනට් මණ්ඩලය විසින් ප්‍රමුඛතාව ලබා දී ඇති බවත්, එම ප්‍රමුඛතාවේදී ඊට අදාළ මුදල් සම්පාදනය කරගැනීම වෙනුවෙන් සම්පූර්ණයෙන්ම රජය සතු ආයතනයක් ස්ථාපිත කරන්නටත් මෙලෙස තීරණය වී ඇතැයි අමාත්‍යවරයා පැවසීය.

“මෙම ආයතනයට පූර්ණ බලතල ලබා දෙන්නටත්, ඒ හරහා ආදායම් උත්පාදනය කරමින් අවශ්‍ය මූල්‍ය අවශ්‍යතාවන් සපුරාලීමටත් සම්පූර්ණ අයිතිය එම ස්ථාපිත සමාගම වෙත ලබාදීමටත් තීරණය කර තිබෙනවා.” අමාත්‍යවරයා සඳහන් කළේය.

මෙහිදී රජය සතු ඉතාමත් වටිනා ඉඩම් ඇතුළු සම්පත් වසර 30ක බද්දට යටත්ව අවශ්‍ය පිරිස් වෙත ලබා දෙමින්, ඉන් ආදායම් උපයා ගනිමින් කටයුතු කිරීම මෙහිදී සැලසුම වී තිබේ. ඒ හරහා සංවර්ධන ව්‍යාපාර සඳහා මහා භාණ්ඩාගාරයට පැටවෙන බර අඩු කිරීම අරමුණ බවත් අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

Visits: 384